brand logo

ඩෙංගු මඬින්න සූදානම් වන්නැයි ආණ්ඩුකාරවරුන්ට, පළාත් පාලන ප්‍රධානීන්ට ජනපතිගෙන් උපදෙස්

02 June 2020

පවතින වර්ෂාව සහිත කාලගුණය පහව ගිය පසුව ඇතිවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා වහා සූදානම් වන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ආණ්ඩුකාරවරු සහ පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත. සෑම වසරකම ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි. වෙනත් ප්‍රදේශවලවල සිට මේ පළාතට දෛනිකව විශාල පිරිසක් පැමිණෙති. මොවුන් වාහකයන් ලෙස පිටව යාම වැළැක්විය හැක්කේ බස්නාහිර පළාතට ප්‍රමුඛත්වය දී ඩෙංගු මර්දනය කිරීමෙන් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඒ සඳහා පළාතේ සියලු පළාත් පාලන ආයතන සෞඛ්‍ය අංශ සහ පරිසර පොලීසිය සක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි. ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය සමග ඊයේ (01 වැනිදා) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්හ. පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේය. නොවැම්බර් සිට ක්‍රමවත්ව කසළ බැහැර කිරීම සහ කොවිඩ් මර්දනයට සමගාමීව පැවති ඇඳිරිනීති කාලසීමාවේ ජනතාව තම ගෙවතු පවිත්‍රව තබා ගැනීම ඊට හේතුවී තිබේ. පළාත් අතර සංචරණය සීමා වීම ද තවත් සාධකයකි. පාසල්, රෝහල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ ඉදිකිරීමේ වැඩබිම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර පවිත්‍රතා කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණ. සෞඛ්‍ය අංශ හා පළාත් පාලන ආයතන එක්ව ස්ථාන අධීක්ෂණය පරිසර පොලිස් ඒකකවලට පැවරිණි.ඩෙංගු ව්‍යාප්තිය වැඩිවන ආකාරයෙන් ක්‍රියාකරන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද උපදෙස් දුන්නේය. ඩෙංගු රෝගියකු රජයේ හෝ පෞද්ගලික රෝහලකට වාර්තාවූ වහා ඒ පිළිබඳව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර අදාළ ස්ථාන නොපමාව දූමායනය කොට පවිත්‍ර කළයුතුය. ඩෙංගු මර්දනය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය. සතියකට වරක් ආණ්ඩුකාරවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් රැස්වී සෞඛ්‍ය කමිටු සැලසුම් පසුවිපරමට ලක් කරන ලෙසත්, සාර්ථකව ඩෙංගු මර්දනය කළ රටවල අත්දැකීම් ආදර්ශයට ගන්නා ලෙසත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්හ.
 

More News..