brand logo

ඩුබායි කෝටි 700 දියමන්තිය යළි ලංකාවේද?

24 February 2019

මාකඳුරේ මධුෂ් අත් අඩංගුවට පත්වීමත් සමග දකුණු ආසියාවේ විශාලම දියමන්ති කොල්ලය පිළිබඳවත් දිගින් දිගටම තොරතුරු අනාවරණය වන්නට ගත්තේය. ඩුබායිවලට රැගෙන ගිය දියමන්තිය කැපීම සඳහා නැවත එවීමේ සූදානමක් පැවතුණ බවද කියැවේ. ඒ නිසා දියමන්තිය රැගෙන යාම ගැනත් නැවත එවන්නට වූ සූදානම ගැනත් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකකින් මේ වනවිට විමර්ශන සිදුවේ. ඒ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ හා බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා යටතේය. දියමන්තියක් ලංකාවට ගෙනවිත් කැපීමට හා ඔපදැමීමට කෙනෙකු මධුෂ්ගේ ප්‍රබල සාමාජිකයෙකු විසින් සොයන බවත්, රුපියල් කෝටි දහයක් ඒ සඳහා ලබා දීමට සූදානමින් පසුවන බවත් පොලිස් ඔත්තුකරුවෙකුට තොරතුරක් ලැබී තිබුණේය. ඒ අනුව පොලිස් විමර්ශන කණ්ඩායම් තොරතුරු සොයාගියද අවසානයේ එය තහවුරු කරගැනීමට සාධක කිසිවක් හමුවූයේ නැත. මාකඳුරේ මධුෂ්ව අබුඩාබිවලදී කොටුකර දෙන්නට අබුඩාබි පොලිසියට ඔත්තුව දුන් අන්නාසි මොරිල්ගෙන් දියමන්තිය ගැන මෙරට පොලිස් පරික්ෂකවරයකුට තවත් ඔත්තුවක් ලැබුණේය. ඒ දියමන්තිය මේ වනවිට ඇත්තේ ඩුබායි පොලිසිය භාරයේ බවටය. මධුෂ් කොටුකරන මෙහෙයුමේදී ලංකාවේ සිට මොරිල් හා කළු සාගර සමග සබඳකම් පැවැත්වූයේ මේ පොලිස් පරීක්ෂකවරයාය. අන්නාසි මොරිල් හා කළු සාගරට පාකිස්තාන් කුඩු ජාලය සමග එක්ව මාකඳුරේ මධුෂ්ව කොටුකරන්නට උවමනා වූයේ ඔවුන් හා මධුෂ් අතර මත්කුඩු ජාවාරමේ ඇතිවූ ආරවුල් නිසාය. එහිදී මධුෂ් විසින් මොරිල්ගේ කුඩු දෙවුන්දරදී කොල්ලකෑමටත් කළු සාගර මරා දමන්නටත් ගත් උත්සාහය නිසා මධුෂ්ට පෙර මේ දෙදෙනා ඉස්සර වූහ. මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා, උප පොලිස් පරීක්ෂක හේමන්ත පෙරේරා, ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් පසුගියදා අත්අඩංගුවට ගත් කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන්, මධුෂ් සමග මුල සිටම සබඳතා පැවැත්වූවෙකි. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙරට ආරක්ෂක අංශවත් භාවිත නොකරන නවීන වර්ගයේ ප්‍රභූ ආරක්ෂක අවි තොගයක් මෙරටට ගෙන එන සැලසුමක් ද අනාවරණය වී තිබුණි. මෙරට ප්‍රභූ ආරක්ෂක අංශ භාවිත කරන්නේ එම් 16 ගිනි අවි හා මිනි උෂීය. මෙහිදී මධුෂ් එවන්නට සැලසුම් කර ඇත්තේ එම් 36 වර්ගයේ මැෂින් තුවක්කු තොගයක් වන අතර ඔහු විසින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ගේ සහායෙන් පස් දෙනෙකු මාර්ගයෙන් මේ අවි ලංකාවට එවන්නට සැලසුම් කර ඇති බවත් වෙඩිකන්දේ කසුන් අනාවරණය කළේය. එය සත්‍යයක් විය හැකි බවට සිතෙන්නේ මාකඳුරේ මධුෂ් දවසට රුපියල් දස දහසක් පමණ කුඩු ගැසීමට කසුන්ට දෙන්නේ ඔහුගේ රහසිගත මෙහෙයුම්වලට කසුන් යොදාගන්නා නිසා වීමය. දියමන්තිය කොල්ලකන්නට ගිය කණ්ඩායම ඒ කාර්යය හරියටම කළා දැයි බලන්නට මධුෂ් විසින් මහරගමට යවන්නේ කසුන්වයි. " වැඩේ හරි බං... එක ගලක් නෙවේ බෝනස් එකකුත් හම්බ වුණා .." මධුෂ්ට මැණික් ගල් ගැන ඒ තොරතුරු ලබාදෙන්නේ කසුන්ය. කසුන්ට ඒ රාජකාරිය සඳහා මධුෂ් විසින් රුපියල් ලක්ෂ තුනක් එවා තිබූ බවටත් තොරතුරු අනාවරණය වී ඇත. අත්අඩංගුවේ පසුවන කසුන්, මාතර මල්ලි හා අතුරුගිරියේ ලොකු අයියා හෙවත් නාලකගෙන් හෙළිවන තොරතුරුවලට හා දෙහිවලදී ඇල්ලූ සැකකරුවන්ගෙන් මිරිහාන පොලිසියට ලද තොරතුරු අනුව දියමන්තිය ඩුබායි රටට ගෙන ගිය බවට සැක පහල වන්නේ පසුගිය නොවැම්බර් 08 වැනිදා මරදානට එක්වූ අටේ කණ්ඩායමක් නිසාය. දෙමටගොඩ සමන්තා සිනමාශාලාව අසලට දියමන්තිය දී ඇත්තේ මධුෂ්ගේ විශ්වාසවන්ත සගයෙකි. එමෙන්ම එදින මරදානේදී ගායක අමල් පෙරේරාත්, රංගන ශිල්පී රයන්, ප්‍රසිද්ධ කැරෝකේ සමාජ ශාලා හිමියෙකු, තලවතුගොඩ පීරිස් ඇතුළු කණ්ඩායමක් ඔවුන් හමුවී කටුනායක ගුවන් තොටට යන සම්බන්ධය දුරකථන ජාල පරික්ෂාවලදීත් අනාවරණය වී ඇත. මෙම ගමන යන්නට පෙර මාකඳුරේ මධුෂ් නාදුනන බවට රයන් මිරිහාන පොලිසියට කියා සිටියද රයන්ගේ දුරකථන තොරතුරුවලට අනුව මාකඳුරේ මධුෂ් හා සම්බන්ධතා තිබූ බවට සනාථ වන්නේය. ඒ නිසා නොවැම්බර් 08 වැනිදා ඩුබායි බලාගිය මේ කණ්ඩායම අතේ දියමන්තිය රැගෙන ගිය බව මෙයින් තහවුරු වෙයි. මධුෂ් ගැන අබුඩාබි පොලිසියට ඔත්තුව දුන් අන්නාසි මොරිල් එංගලන්තයට ගොස් සතියක් රැඳී සිටියේ ආරක්ෂාවට බවත් කියයි. මොරිල් පසුගිය බදාදා වනවිට යළි ඩුබායි රටට පැමිණි පසු එරට පොලිසියෙන් ඔහුගේ ආරක්ෂාවද සපයා ඇති බවට එරටින් ලැබෙනා ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ දියමන්තිය ඩුබායි පොලිස් භාරයේ ඇති බවට මොරිල් අනාවරණය කරගත්තේත් එරට පොලිසිය මගින් බවට ඔහු කියා ඇත. ඔහු එසේ කීවද ඒ බව නිල වශයෙන්ම ඩුබායි පොලිසිය අනාවරණය කරගෙන නොතිබූ බවටත් තොරතුරු ලැබෙයි. ඇරැව්වල පදිංචිකරුවෙකු වූ දියමන්තිය හිමිකරුගෙන් එය පැහැරගත් පසු මාකඳුරේ මධුෂ් විසින් ඔහුට දුරකථන ඇමතුම් තුනක් ලබා දී ඇත. ඒ ඇමතුමකදී දියමන්තිය කෝටි 1300 කට විකුණන බව ඔහු කියා ඇත. එමෙන්ම මේ ගැන දඟලන්නේ නොමැතිව සිටින ලෙසත්, ඔහුට සාධාරණයක් ඉටුකරන බවටත්, ඒ දුරකථන ඇමතුම්වලින් මධුෂ් දියමන්තිය හිමිකරුට දන්වා තිබුණේය. මේ සියලු කාරණා මෙසේ සිදුවෙද්දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මධුෂ්ගේ දියමන්ති මෙහෙයුමේ සැඟවුණු චරිත කීපයක් කොටුකරගත්තේය. මින් එක් අයෙකු පරිගණක තාක්ෂණයේ කෙළ පැමිණියෙකි. ඔහු විසින් කොල්ලයට ගිය කණ්ඩායම භාවිත කළ දුරකථන සඳහා වෙනමම ඇප් එකක් සාදා මොරටුවේ සිට එම කණ්ඩායම ගැන විශ්ලේෂණය කර ඇත. මාකඳුරේ මධුෂ්ගේ පියාගේ මළගම දා සජීවීව ඔහුට එය බලන්නට හැකි ලෙස සීසීටීවී කැමරා සවි කර ඇත්තේ ද ඔහු විසිනි. මීගමුවේ සිට කොල්ලයට ගිය කණ්ඩායම දියමන්තිය කොල්ලකා ගෙනවිත් දුන් පසු දියමන්තිය පිළිබඳ ඉතිරි මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ මෙම කණ්ඩායම අතිනි. දියමන්තිය සැබෑ එකක්දැයි පරික්ෂාකරන්නට විදේශිකයා අත ටෙස්ටරයක් යවන්නේද මොවුන්ය. ඩුබායි ගිය කණ්ඩායම වෙතට දියමන්තිට ගෙනගියේ බියගමින් කුලියට ගත් කැබ් රථයකින් බවට දැනට කියවෙයි. දියමන්තියේ මෙන්ම මාකඳුරේ මධුෂ් ගැනත් තවත් රහස් රැසක් ළඟඳීම හෙළිකර ගතහැකි බවට විමර්ශන කණ්ඩායම් විශ්වාසයෙන් පසුවේ. තිස්ස රවීන්ද්‍ර පෙරේරා.
 

More News..