brand logo

ඩී.අයි.ජී.ලා දෙදෙනෙක් ළඟදීම අත්අඩංගුවට - දෙදෙනාටම අපරාධ චෝදනා

09 March 2019

පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින හා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට එල්ල වී ඇති මනුෂ්‍ය ඝාතන හා දූෂණ අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. ගාල්ල රත්ගම ප්‍රදේශයේ මාළු හා කුකුළු මස් වෙළෙඳාම් කළ දෙදෙනකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන යටතේ ක්‍රියාත්මක වූ දකුණු පළාත් විශේෂ අපරාධ ඒකකයටය. පසුගිය ජනවාරි 23 වැනි දින රත්ගම මංජුල අසේල (33) හා රශීන් චින්තක (31) යන අය පැහැර ගෙන ගොස් පහරදීමේදී එක් අයකු මියගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත. පසුව ඒ සම්බන්ධයෙන් එහි සිටි එම ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට දුරකථනයෙන් දැනුවත් කර තිබේ. ඒ අනුව විජේගුණවර්ධන උපදෙස් දී ඇත්තේ අනෙක් පුද්ගලයාත් ඝාතනය කර ඔවුන්ගේ සිරුරු පුළුස්සා විනාශ කර ඇඳුම් පැලඳුම් ආදියද විනාශ කර දමන ලෙසයි. ඉන්පසු ඇති වන තත්ත්වය තමන් බලා ගන්නා බව පවසා ඇත. ඒ අනුව පොලිස් අත්අඩංගුවේ පසුවූ අනෙක් සැකකරු ද ඝාතනය කර වලස්මුල්ල ප්‍රදේශයේ රක්ෂිතයකට ගෙන ගොස් පුළුස්සා දමා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එම ඒකකයේ සිටි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රොෂාන් ඇතුළු 7 දෙනකු හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. තවත් පොලිස් නිලධාරීන් හය දෙනකු සැඟව සිටිති. ඒ තත්ත්වයන් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයට මාරු කර තිබියදී පරීක්ෂණවලට බාධාවන අයුරින් බලපෑම් කරන බවද වාර්තා වන අතර තව දින කිහිපයකින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. මෙවන් තත්ත්වයක් මත ශ්‍රී ලංකා පොලිසියට ලැබුණු පුහුණු පාඨමාලාද අවලංගු කිරීමට අන්තර්ජාතික පොලිසිය කටයුතු කර ඇති අතර ඊට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය මානව හිමිකම් උල්ලංඝනය කරමින් සැකකරුවන්ට වද හිංසා පමුණුවීමයි. එසේ ලැබුණු පාඨමාලා 3ක්ද මේ වන විට නතර කර තිබේ. මේ අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර ද එම ඒකකයේ කටයුතු කරන සමයේදී ඇතැම් පරීක්ෂණ යටපත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු අාරම්භ කර ඇත. ඊට අදාළ සාක්ෂි ද එකතු කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇති අතර එහි පරීක්ෂණ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් සිදු කරයි. මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිලිවලට අදාළ සාක්ෂි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් චූදිතයන්ට ලබාදී මූල්‍ය හා අනෙකුත් වරප්‍රසාද ලබා ඇති බවට චෝදනා එල්ල වී ඇත. එම මුදල් මගින් සිය පුතාගේ නමට කෝටි ගණන් වටිනා නිවසක්, කොල්ලුපිටියේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් මිලට ගැනීමත් කිරුළපන, ටොරින්ටන් හා කොළඹින් පිට ආදී ප්‍රදේශවලින් නිවාස හා දේපොළ ලබාගෙන ඇති බවද තොරතුරු අනාවරණය වී තිබේ. ඔහුගේ සේවා දිගුව පසුගිය පෙබරවාරි 23 දිනෙන් අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා කටයුතු කළේය. ඒ අනුව ඔහු ළඟදීම අත්අඩංගුවට ගෙන විමර්ශන කිරීමට නියමිත බවද වාර්තා වේ.
 

More News..