brand logo

ඩිස්නිලන්තයේ රූකඩ පැංචි කුශෙන්‍යා

30 September 2020

වින්දන සහ කල්පන ආරියවංශ සොහොයුරන්ගේ ‘රූකඩ පැංචි’ සිනමා සිත්තම මේ දිනවල ඔබට දැක ගන්නට පුළුවන්. ළමා, වැඩිහිටි කාගෙත් සිත් සොරා ගන්නා අපූරු සිනමා සිත්තමක් විදියටයි බොහෝ දෙනා මෙය හඳුන්වන්නේ. ‘රූකඩ පැංචි’ සිනමා නිර්මාණය කරුණු කාරණා කිහිපයක් නිසාමත් සුවිශේෂී වෙනවා. එහි එන චරිත නිරූපණයන් සහ දර්ශන තලයන් අපේ මනසට එක් කරන්නෙ සැබැවින්ම ඩිස්නිලන්තයක්. මෙහි ප්‍රධාන භූමිකාව අංකල් ලුවී සම්මානිත දක්ෂ චරිතාංග රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා හරි අපූරුවට නිරූපණය කරද්දි රූකඩ පැංචි ලෙසින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නෙ කුශෙන්‍යා ෆොන්සේකා. උපතින්ම කලා පවුලක උරුමය ලබන්නට වාසනාවන්ත වූ මේ පුංචි රූකඩ පැංචි ෆොන්සේකා පරම්පරාවේ තුන්වෙනි පරම්පරාවේ නියෝජනයක්. හරියටම මේ නෑකම කියනවා නම් අපේ රටේ නිළි රැජින මාලනී ෆොන්සේකාගේ බාල සොහොයුරු වන ආනන්ද ෆොන්සේකාගේ පුතාගේ (අසංග) දුව තමයි කුශෙන්‍යා කියන්නේ. එහෙමත් නැත්නම් සමනලී ෆොන්සේකාගේ අයියගෙ දුව. කුශෙන්‍යගේ පවුලේ මෙච්චර විස්තරයක් කරපු නිසා කුශෙන්‍යගේ අම්මගේ නම නොලිව්වොත් අඩුවක්. ඇය තමයි ඉමල්කා. ඉතින් ඉමල්කාට ඇමැතුමක් දීලා අපි ‘පිනිපලස’ ට කුශෙන්‍යාව සම්බන්ධ කර ගත්තා. රූකඩ පැංචි ගැන කුශෙන්‍යාගෙන් නොඅසා ඉන්නෙ කොහොමද... කුශෙන්‍යා කොහොමද ඉතින්? හ්ම්... හොඳින් පාසල් වැඩ කටයුතු කරගෙන ඉන්නවා. දැන් කුශෙන්‍යා කීවැනි වසරෙද ඉන්නෙ? 9 වසර පාසල? බෞද්ධ කාන්තා විද්‍යාලය. මුලින්ම රඟපෑවේ? මලිත් හෑගොඩ මාමගේ ‘දැකලා පුරුදු කෙනෙක්’ චිත්‍රපටයේ. එතකොට වයස? අවුරුදු 5දී. ඊට පස්සෙ රූකඩ පැංචිද? සිනමාවෙන් රූකඩ පැංචි, ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වල ඉඳලා තියෙනවා. රූකඩ පැංචි වුණේ කොයි කාලෙද? 2018 දී. දිගටම රඟපාන්නද ආස? පොඩි කාලෙ ආසාවක් තිබ්බා රඟපාන්න. ඒත් දැන් නැහැ. මම රංගනයට වඩා වැඩි කැමැත්තක් තියෙන්නේ නර්තනයට. ඒ නිසා නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න තමා කැමති. නර්තනය හදාරනවද? ඔව්, චන්න විජේවර්ධන සර් යටතේ උඩරට නර්තනය ඉගෙන ගන්නවා. එතකොට රඟපාන්න ආරාධනා ආවොත්? හොඳ නිර්මාණයක් නම් අම්මා, තාත්තා කැමැත්ත දුන්නොත් හිතලා බලනවා. නර්තනය හැරුණම කුශෙන්‍යා කැමති විෂය මොකක්ද? ඉංග්‍රීසි. ෆොන්සේකා පවුලේ කෙනෙක් වීම ගැන මොකද හිතන්නෙ? ගොඩක් සතුටුයි. ඒ වගේම නිහතමානී ආඩම්බරයක් තියෙනවා ඒ ගැන. කුශෙන්‍යාට සින්දු කියන්න පුළුවන්ද? තාම උත්සාහ කරලා නැහැ. ඒ නිසා දන්නෙ නැහැ. අම්මයි තාත්තායි කැමති කුශෙන්‍යා රඟපානවටද? නර්තනයට යොමු වෙනවටද? රංගනය සහ නර්තනය දෙකම සමබරව කරගෙන යන්න කියලා තමා අම්මයි, තාත්තායි නම් කියන්නේ. රූකඩ පැංචි රූගත කිරීම් අතරතුර අමතක නොවන අත්දැකීම් ඇති? ගොඩක් තියෙනවා. ඒ අතර මල්ලිත් එක්ක රණ්ඩු වෙන එක ගහගත්ත ඒවා තමයි. දැන් කුශෙන්‍යාටත් මපට් ක්‍රියාකරවන්න පුළුවන් නේද? කොහොමද ඉගෙන ගත්තේ? ඒවා වින්දන සහ කල්පන මාමලා කියලා දුන්නා. රූකඩ පැංචි නිර්මාණයේ රඟපාන්න ලැබුණු එක ගැන මොකද හිතෙන්නෙ? සතුටින් කරපු නිර්මාණයක්. ගොඩක් ප්‍රවීණ අය එක්ක රඟපාන්න ලැබුණා. ජැක්සන් ඇන්තනී මහතා. දිල්හානි මහත්මිය වගේ අය එක්ක. ඉතින් එයාලගෙන් ගුරුහරුකම් සහ ආදරය ලබමින් කරපු හොඳ නිර්මාණයක්. දැන් රූකඩ පැංචි විදියට චිත්‍රපටය ගැන කියන්න තියෙන්නේ මොකක්ද? ලස්සන නිර්මාණයක්. පවුලේ හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් ඇවිත් ‘රූකඩ පැංචි’ බලන්න කියලා තමයි හැමෝගෙන්ම ඉල්ලන්නෙ. අනූෂා රණසිංහ
 

More News..