brand logo

ඩිලන්ත මාලගමුවට විදේශ ගතවීමට අවසර

30 September 2020

ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක පැවැත්වෙන ‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරගාවලිය සඳහා සහභාගී විමට ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට විදේශ ගතවීමට කොළඹ මහාධිකරණය විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (30) අවසර දුන්නේය. ‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ ඩිලන්ත මාලගමුව මහතාට විදේශ ගතවීමට අවසර දෙන්නැයි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා ඒ සඳහා අවසර දුන්නේය. සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ජපන් ජාතිකයකුගෙන් ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 6ක මුදලක් ලබාගෙන වංචා කළ බවට ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සළකා බලා විනිසුරුවරයා එලෙස නියම කළේය. මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් ඥානදීපන් සිවජෝති, ඩිලන්ත මාලගමුව සහ විජිත බණ්ඩාර රණරාජා නමැත්තන් චෝදනා ලැබ සිටී. ඩිලන්ත මාලගමුව මහතා වෙනුවෙන් පෙනී සිටී නීතීඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයා ලබන 10 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා අතර කාලයේ ප්‍රංශය ඇතුථ රටවල් කිහිපයක් පැවැත්වෙන ‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ යැයි කීය. මෙම නඩුවේ ඇප නියම කිරීමේදී තම සේවාදායකයාට එරෙහිව විදේශගතවීම වැළැක්වීමේ නියෝගයක් පනවා නැතත් විදේශගත වීමට පෙර ඒ බව දැනුම් දීමට ඔහු අධිකරණයට පැමිණි බව දැනුම් දුන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා ඒ අනුව අදාළ තරගාවලියට සහභාගීවීම සඳහා විදේශ ගතවීමට ඔහුට අවසර දෙන්නැයිද ලබන 19 වැනිදා පැවැත්වෙන නඩු විභාගය ඔහු නොමැතිව පැවැත්වීමට අවසර දෙන්නැයිද අවසර ඉල්ලා සිටියේය. ඒ සඳහා අවසර දුන් විනිසුරුවරයා මෙම නඩු විභාගය සඳහා ලබන 19 වැනිදා කැඳවීමට නියම කළේය.
 

More News..