brand logo

ඩ්‍රෝන යොදා මහනුවර රූපගත කළ විදේශිකයා අත්අඩංගුවට

21 July 2020

මහනුවර නගරයේ අධි ආරක්ෂක කලාප හා සුවිශේෂි ස්ථාන අධි තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන කැමරාවක් ආධාරයෙන් රූපගත කළ බව සදහන් තිස්හතර හැවිරිදි යුක්රේන ජාතිකයෙකු මහනුවර පොලිස් මූලස්ථානයේ සංචාරක පොලිස් ඒකකය මගින් ඊයේ (21) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. යුක්රේන ජාතික සැකකරු ශ්‍රී දළදා මාලිගාවට බුවැලිකඩ ප්‍රදේශයේ උස බිමක පිහිටි පිහිටි නවාතැනක සිට මෙම ඩ්‍රෝන කැමරාව පසුගිය දින කීපයක හා පෙරේදා (20) රාත්‍රියේ ගුවන් ගතකර ශ්‍රී දළදා මාලිගාව ,ජනාධිපති මන්දිරය හා තවත් වැදගත් ස්ථාන රැසක් රුගත කර තිබෙන බව පොලිස්  පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. අධි ආරක්ෂක කලාපයේ පිහිටි මහනුවර ජනපති මන්දිරය හා දළදා මාලිගාව ආසන්නයේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි යුක්රේන ජාතිකයා පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිස් සංචාරක ඒකකයට බාරදී තිබේ.  දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක කළ ඩ්‍රෝන කැමරාව හිටි හැටියේ තම පාලනයෙන් ගිලිහුණු බවත් එය සෙවීම සඳහා ජනපති මන්දිරය අසළට පැමිණ බවත් ඔහු පොලීසියට ප්‍රකාශකර ඇත. සැකකරුගෙන් දිගින් දිගට ප්‍රශ්න කිරීමෙන් පසු පොලීසිය ඔහු නවාතැන් ගෙන සිට ස්ථානයට ගොස් පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී අධි බලැති ඩ්‍රෝන කැමරාව පොලීසියට හමුවී තිබේ.ගුවන් ගතකළ ඩ්‍රෝන කැමරාව හදිසියේ පාලනයෙන් මිදුනහොත් එය ගුවන් ගත කළ ස්ථානයටම ස්වක්‍රීයව යළි පැමිණෙන ආකාරයේ මෘදුකාංගයක් භාගතකර තිබෙන බවත් ඒ අනුව එය නවාතැන වෙත පැමිණ තිබෙන බවත් සැකකරු පොලීසියට පවසා ඇත. මොහු මහනුවර ශ්‍රී දළදා මාලිගාව,ජනපති මන්දිරය ඇතුළු වැදගත් ස්ථාන  රැසක් සැකකරු ඩ්‍රෝන කැමරාවෙන් රූප ගතකර තිබෙන බව පොලීසිය පවසයි.ඊට අදාළ දර්ශන ගබඩාකර තිබූ ලැප්ටොප් පරිගණකයක්ද පොලීසිය භාරයට ගෙන තිබේ. මෙම සැකකරු සතුව විදේශ ගමන් බලපත්‍රය හෝ මෙරට රැඳී සිටීමට අවශ්‍යය වීසා බලපත්‍ර තිබී නොමැත.ඒවා මාතර වැලිගම ප්‍රදේශයේ තම හිතවතෙකුට ලබාදුන් බව මොහු පොලීසියට පවසයා ඇත.මොහු පසුගිය වසරේ අගභාගයේ මෙරටට පැමිණ තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබේ. සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ඩ්‍රෝන කැමරාය රාත්‍රී දර්ශන පවා ඉතා පැහැදිලිව ලබාගත හැකි අධි බලැති එකක් බව පොලීසිය පවසයි. කුමන කරුණක් උදෙසා දළදා පෙරහැර සමයේ මෙම රූ ගත කිරීම් සිදු කලේද යන්න පිලිබදව සැකකරුගෙන් ප්‍රශ්න කෙරෙන අතර වැඩි දුර පරීක්ෂණ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා පොලිස් පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ සහය ලබා ගැනීමට නියමිත බවද පොලිසිය පවසන අතර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය . කමල් සුරවීර මහනුවර
 

More News..