brand logo

ඩ්‍රොප් මී ටැක්ෂි දිව්වේ පාතාලේ සල්ලි වලින්ද?

11 March 2019

පාතාල කල්ලිවල අය සහ දේශපාලනඥයන් යනු එකිනෙකා කෙරෙහි බැඳී ගිය සිත් ඇත්තෝය. ඔවුන් අතර ඇත්තේ ‘පිස්තෝලයත්, ගිනි උණ්ඩත් අතර ඇති බැඳීම බඳු සම්බන්ධයකි. පිස්තෝලය නැතිව උණ්ඩත්, ගිනි උණ්ඩ නැතිව පිස්තෝලයත් පාවිච්චි කිරීමට බැරුවා සේ, පාතාලයන්ට දේශපාලනඥයාත්, දේශපාලනඥයාට පාතාලයත් නැතිවම බැරිය! දේශපාලනඥයන්ට පාතාලයන්ගේ ‘‘සේවය’’ අවශ්‍ය වන්නේ මැතිවරණ පැවැත්වෙන කාලයටය. මැතිවරණ වකවානුවලදී සැඟවුණු පාතාල කල්ලි බොහෝමයක් කරළියට එන්නේ මේ හේතුව නිසාය. දේශපාලනඥයන්ගේ කර මතින් කරළියට එන පාතාල කෙරුමන්ගේ ප්‍රධාන අරමුණ, මත්කුඩු බෙදා හැරීමේ සහ විවිධ අපරාධ ක්‍රියාදාම නිරුපද්‍රිතව පවත්වාගෙන යාමයි. නැතිනම් අනෙකුත් කල්ලිවලට ඉහළින් නැගී සිටීමයි. ඔවුන් ඒවා කරන්නේ තමන්ට සහාය දක්වන දේශපාලනඥයන්ගේ පිහිටෙනි. පසුගිය වසරේ පැවති පළාත් පාලන මැතිවරණය මේ තත්ත්වය පෙන්නුම් කරන කදිම නිදසුනකි. පාතාල නායක කොස්ගොඩ සුජීගේ සොයුරියත්, පාතාල නායක කොස්ගොඩ තාරකගේ මවත් දකුණු පළාතෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමිනි. මාකඳුරේ මධුෂ් ද තම සගයකු එක්සත් ජාතික පක්ෂයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවට තරග කරන්නට ඉදිරිපත් කරවන්නේය. මධුෂ්ගේ සගයා වැලිගම ලසන්තය. මිදිගම බටහිර කොට්ඨාසය සඳහා තරග කළ වැලිගම ලසන්තගේ ඡන්ද ව්‍යාපාරයට වියදම් කළේ මාකඳුරේ මධුෂ්ය. නමුත් මධුෂ්ගේ සිහිනය සැබෑ වූයේ නැත. කොළඹ මහ නගර සභා මැතිවරණයටද පාතාලයන් ඉදිරිපත් වූහ. කොළඹ ඡන්ද සටනේ එජාප නාමයෝජනා ලැයිස්තුව සඳහා සුප්‍රකට කුඩුලාල්ගේ පුතුන් දෙදෙනාගේ නම්ද ඇතුළත්ව තිබිණි. එහෙත් පක්ෂ අභ්‍යන්තරයෙන්ම එල්ල වුණු විරෝධතා නිසා පසුව එය ඉවත්කර ගන්නට සිදු විය. අවසානයේ ඔවුන් දෙදෙනා ස්වාධීන කණ්ඩායමක් යටතේ තරග කළහ. දේශපාලනඥයන් හා පාතාලයේ ලොකු ලොක්කන් අතර පැවති සබඳතා කරළියට එන්නට පටන් ගැනුණේ මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමත් සමගය. මැති ඇමැතිවරුන් හා මධුෂ්ගේ සම්බන්ධය කරළියට එන අතරේ දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කෙළින්ම චෝදනා කළේ රටේ අගමැතිවරයාටය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මධුෂ්ගේ සමීපතම සඟයා වූ මොහොමඩ් රිස්කාන්ගේ ‘ඩ්‍රොප් මී ටැක්සි’ සේවාව විවෘත කිරීමට ගිය ආකාරය ඡායාරූපද සහිතව අනාවරණය කරන්නේ ඔහුය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී නිල් මැණිකක්ද ත්‍යාග වශයෙන් ලබා දී ඇති බවත්, වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරන්නේය. ඉකුත් වසරේ පෙබරවාරි අටවැනිදා අගමැතිවරයා සමග රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන්ද ටැක්සි සේවාව විවෘත කිරීමේ උත්සවයට එක්ව සිටියෝය. උත්සවය පැවැතියේ වැලිසරය. ඩ්‍රොප්මී ටැක්සි ආයතනයේ වැලිසර ශාඛාව විවෘත කර දින අටකින් එහි හිමිකරු මොහොමඩ් රිස්කාන් පාතාලය අතින්ම වෙඩි කා මියැදෙන්නේය. ඒ පෙබරවාරි 16 දාය. රිස්වාන් මරු දකින්නේ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේදීය. මෙම වකවානුවේ දී රිස්කාන් ඉහළ පෙළේ දේශපාලනඥයන් රැසක් සමග ගනුදෙනු කරන්නට පටන්ගෙන තිබිණි. රිස්කාන් කරළියට එන්නේ මුස්ලිම් පාතාලයේ ‘ගෝඩ් ෆාදර්’ වන්නට වෙර දරන කන්ජිපානි ඉම්රාන්ගේ ගෝලයකු ලෙසිනි. ඩුබායි සිට මත්කුඩු ජාවාරමට කර ගසන කන්ජිපානි ඉම්රාන් තමාගේ සහායට මාකඳුරේ මධුෂ්ද ඩුබායිවලට ගෙන්වා ගත්තේ පාතාල මර්දනයට බියෙනි. ඩුබායි පැන්න මාකඳුරේ මධුෂ් ඉම්රාන් සමග එක්වී කෙටි කලකින්ම, මුළු රටේම මත්කුඩු බෙදා හැරීම සියතට ගන්නේය. ඔවුන් දෙදෙනාම කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයාගෙන ඩුබායි සිටි ධන කුවේරයන් බවට පත්වන්නේ එතැනිනි. මාකඳුරේ මධුෂ් සහ ඉම්රාන් කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් ලංකාවේ විවිධ ආයෝජන පටන් ගත්හ. ගොඩනැගිලි, ඉඩම්, වෙළෙඳ සංකීර්ණ, සුපිරි නිවාසද මිලට ගැනීම්ද ඒ අතර විය. ඔවුහු ඒ සියල්ල අනාගත ආයෝජන සේ සැලකූහ. ව්‍යාපාර අරඹමින් එක්වරම හිස එසවූ රිස්කාන් පෙනෙන නොපෙනෙන ව්‍යාපාරවලින් හිස එසවූවෙකි. ඔහු කන්ජිපානිගේ ළඟම ගෝලයකුද විය. රිස්කාන් අරඹන කුලී රථ සේවාව දිනක මුළු රටම අල්ලනු ඇති බව වසර එකහමාරකට පමණ පෙර මධුෂ් මෙන්ම ඉම්රාන්ද දැන ගත්හ. ඒ වන විටත් එය තරගකාරී අනෙකුත් ටැක්සි සේවාවන්ට අභියෝග එල්ල කර තිබිණි. රිස්කාන්ගේ මෙම කුලී රථ සේවාව යම් දිනෙක තම පාතාල ක්‍රියා සහ මත්කුඩු ජාවාරම් සඳහා ද ප්‍රයෝජනවත් විය හැකි බවද ඔවුන් විශ්වාස කරන්නට ඇත. සැබැවින්ම කුලී ගමන් යන මුවාවෙන් ඔවුන්ගේ සැඟවුණු මෙහෙයුම්වලට ලබාගත හැකි දායකත්වය බොහෝය. මේ පසුබිම මත මාකඳුරේ මධුෂ් සහ ඉම්රාන්, රිස්කාන්ගේ ව්‍යාපාරයට ආයෝජනය කරන්නේය. බුද්ධි අංශවලට අනුව මධුෂ් මෙම ව්‍යාපාරයට කළ ආයෝජනය රුපියල් කෝටි දහයකි. මධුෂ්ට කෝටි දහයක් යනු සුළු දෙයකි. ඔහු එ් තරමටම මුදල් උපයා තිබේ. නව ආයෝජනයත් සමග ‘ඩ්‍රොප් මී’ ටැක්සි සේවාව අලුත් හුස්මකින් ඉදිරියට ගන්නට රිස්කාන්ට අවශ්‍ය විය. මේ අනුව ටැක්සි සේවාවේ වැලිසර තම කාර්යාලය විවෘත කරන්නට රටේ අගමැතිවරයා ප්‍රමුඛ දේශපාලනඥයන්ට ආරාධනා කරන්නේ රිස්කාන්ට හිතවත් දේශපාලනඥයකු මගිනි. ඕනෑම දේශපාලනඥයෙක් සුළු ජාතීන්ගේ කොළඹ ඡන්ද ගැන දෙවරක් කල්පනා කරති. මැතිවරණ සමයට ඔවුන්ට සුළු ජාතිකයන්ගේ සහාය අවශ්‍ය වේ. එබැවින් කිසිදු දේශපාලනඥයෙක් ඔවුන්ගේ ආරාධනාවක් ප්‍රතික්ෂේප නොකරනු අැත. ඇතැම් විට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, මාකඳුරේ මධුෂ්, රිස්කාන්ගේ ටැක්සි ව්‍යාපාරයට මුදල් ආයෝජනය කළ බවක් නොදන්නවාද විය හැකිය. කෙසේ වෙතත් අගමැතිවරයා කැටුව යන ඒ. එච්. එම්. ෆවුසි, මුජිබර් රහුමාන් ඇතුළු දේශපාලනඥයන් 2018 පෙබරවාරි අටවැනිදා රිස්කාන්ගේ ටැක්සි සේවාවේ වැලිසර ශාඛාව විවෘත කළහ. රිස්කාන් මාකඳුරේ මධුෂ්ගේ ආයෝජනයෙන් ව්‍යාපාරයේ නව පිම්මක් පැනගත්තා පමණිය. එහෙත් රිස්කාන්ට නොදැනීම නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු ඔවුන්ගේ අඩවියේ සැරිසරන්නට වූහ. රිස්කාන්ගේ කොළඹ කාර්යාලය තිබුණේ අලුත්කඩේ උසාවිය ළඟ නුරානියා වීදියේය. එය සිකුරාදා දිනයකි. යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් පිස්තෝලයක උණ්ඩ අවසන්වනතුරු රිස්කාන්ට වෙඩි තැබූහ. දෙනෝදාහක් මැද එල්ල වූ වෙඩි වරුසාවේ වුවද නුරානියා වීදියේ සිටි රිස්කාන්ට හිතවත් තරුණයන් ඝාතකයන් වෙත කඩා පනින්නේ නොසිතූ අයුරිනි. එම අවස්ථාවේ ඝාතකයා තමන් අත වූ පිස්තෝලයෙන් තරුණයන් දෙසට වෙඩි තැබූවද, එය පත්තු නොවිණි. ඒ ඇසිල්ලෙන් යතුරුපැදිය පදවාගෙන පැමිණි පාතාලයා සෙනඟ අතරින්ම පැන අතුරුදන් විය. රිස්කාන්ගේ හිතවතුන් වූ නුරානියා වීදියේ තරුණයන් පොලිසිය එන්නටත් පෙර ඝාතකයා කම්බස් කරන්නේ, ඝාතනයේ සාක්ෂියක්වත් ඉතුරු නොකරමිනි. රිස්කාන්ගේ ඝාතනය පසුපස සිටින්නේ මාකඳුරේ මධුෂ්ගේ විරුද්ධ පාර්ශ්වය බව හෙළිවන්නේ එතැනදීය. මධුෂ්ගෙන් පළිගන්නට, රණාලේ සමයංගේ කල්ලිය මෙය කළ බව හෙළිවන්නේ ‘ගොත අසංක’ විසින් ප්‍රහාරය මෙහෙය වූ බව හෙළිවෙද්දීය. ගොත අසංකගේ කීමට ඝාතකයන්ට යතුරුපැදිය දුන්නේ කොස් මල්ලිය. රිස්කාන් ඝාතනයේ පළිය ගන්නට මාකඳුරේ මධුෂ් ඝාතකයන් පැමිණි යතුරුපැදිය ලබාදුන් ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලිව පැහැර ගත්තේය. කොස් මල්ලී රණාලේ සමයංගේ ප්‍රධාන ගෝලයෙකි. පසුව අඟුණකොළපැලැස්සේදී දස වධ දී කොස් මල්ලි ඝාතනය කරන්නේය. ඉන් නොනැවතී ඔහුගේ ගෙල කපා බෑගයක දමා අධිවේගී මාර්ගය ඔස්සේ ගෙනැවිත් දෙන්නේ කුඩු සෙල්විගේ පුතුන්ටය. ඒ අලුත්කඩේ උසාවිය ළඟට ගෙන ගොස් දමන්නටය. පලනි ශිරාන් හිරගෙදර සිට ‘කන්ෆරන්ස් කෝල්’ මගින් කන්ජිපානි ඉම්රාන්ව සම්බන්ධ කරන්නේ තම සොහොයුරු පලනි ඉමෝෂන්ටය. කුඩු සෙල්විගේ පුත්තු තුන්දෙනාම විකුණන්නේ කන්ජිපානි ඉම්රාන්ගේ කුඩුය. ඒ නිසා ඉම්රාන්ගේ කීමට කොස් මල්ලිගේ ගෙල අලුත්කඩේට ගෙනැවිත් දමන්නේය. උසාවි සංකීර්ණයට මීටර් දෙසීයක් නුදුරින් හිස හමුවන්නේය. ඒ රිස්කාන් ඝාතනයේ පළිය ගන්නට මධුෂ් හා ඉම්රාන්ලා ක්‍රියා කළ ආකාරයයි. රිස්කාන් ඝාතනයේ පළිය ගත් මධුෂ් හා ඉම්රාන්, තම ආයෝජනයට වැට බැන්ද අනෙකුත් තැනැත්තන්ද සොයමින් සිටියි. පාතාල නායකයන් මෙම නීති විරෝධී මුදල් ආයෝජනය කර ඒවා කරළියට ගෙන එන්නේ දේශපාලන මැදිහත්වීම් ඔස්සේය. රටේ අගමැතිවරයා කැඳවා රිස්කාන්ගේ කුලී රථ ආයතනය විවෘත කරද්දී, මේ පාතාලයේ මුදල් බව අගමැතිවරයා නොදැන සිටියා විය හැකිය. එහෙත් මෙවන් සිදුවීම් ගැන රාජ්‍ය ඔත්තු සේවාවන් හෝ විමසිලිමත්ව ඉහළ දේශපාලනඥයන්ට අනතුරු ඇඟවීම් කරන්නට කටයුතු කරන්නේ නම් චෝදනා එල්ල වන්නේ නැත. මීට පෙර, දෙවුන්දර කුඩු තමිල්ගේ අයිස් මෝලක් විවෘත කරන්නට ගොස් තිබුණේද රජයේ අමාත්‍යවරයෙකි. ඒ අයුරින් කුඩු ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් තම කළු සල්ලි සුදු කරන ජාවාරම ඉදිරියට ගන්නට යොදා ගන්නේ දේශපාලනඥයන්ය. ඒ තමන්ට සමාජයේ පිළිගැනීමක් ඇති කරවා ගන්නටය. නැතිනම් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් මෙල්ල කර ගන්නටය. මේ සියලු කාරණා ඔස්සේ දේශපාලනඥයන්ට අලුතින් සිතා බලන්නට කාරණයක් ඉතිරි වන්නේය. තමන් දැන හෝ නොදැන, ඕනෑම මොහොතක මත්කුඩු ජාවාරම්කාර පාතාලයන්ගේ ගොදුරක් බවට පත්වීමේ අවදානමක් තිබීම ඒ කාරණයයි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..