brand logo

ඩ්‍රීම් ස්ටාර් අවසාන මහා තරගය හෙට

14 January 2022

මිලියන 50ක ත්‍යාග

  තාරුණ්‍යයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර ඩ්‍රීම් ස්ටාර් අවසාන මහා තරගය හෙට රාත්‍රියේ (ජනවාරි 15) නෙළුම් පොකුණ රඟහලේ  පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර අවසන්. අවසාන මහා තරගය පැවැත්වෙන ස්වභාවය සහ එහි සුවිශේෂිතා ගැන ඩ්‍රීම් ස්ටාර් ජ්‍යෙෂ්ඨ විධායක නිෂ්පාදක කැලුම් දර්ශන සමග මොහොතක් අපි කතා කළා. කොහොමද අවසාන රාත්‍රියට සූදානම් වෙන්නේ? ඉතාමත් තියුණු අවසාන රාත්‍රියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තරගාවලියට ආපු තරගකරුවන් ලක්ෂ ගාණකින් පෙරළා ගත්තු දක්ෂයන් තිදෙනෙක් අවසාන රාත්‍රියේ ගීත ගායනා කරනවා. අංජලී මෙත්සරා, රජිත භානුක සහ දුලංග සම්පත් හොඳ තරගයක් ලබාදෙයි. ඩ්‍රීම් ස්ටාර් දසවැනි අදියර වෙනස් ආකාරයට නේද පැවැත්වුණේ... ඩ්‍රීම් ස්ටාර් කියන්නේ දේශීය ආරකට යන වැඩසටහනක්. ඒ තුළ තියෙන්නේ අපේම ක්‍රමයක්. මෙවර අපි අවසාන 48 දෙනාගේ ඉඳන් සජීවී තරගයක් පැවැත්වූවා. ඒ සියයට දහයක විනිශ්චය මණ්ඩලයේ කැමැත්තටත් ඉඩදීලා ඉතිරිය ප්‍රේක්ෂක මනාපයට ලබාදුන්නා. මුළු තරගාවලියම සජීවී ලෙස තමයි පැවැත්වුණේ. අවසන් මහා තරගයත් ඒ ආකාරයටමද පැවැත්වෙන්නේ? අවසාන තරගයත් ඒ ආකාරයටම තමයි. එක් දුරකථන ජාලයකින් එස්එම්එස් 5ක් එවන්න පුළුවන්. එහෙම නැත්නම් ඇප් එක භාවිත කරන්න පුළුවන්. තරගය රාත්‍රි 7.30ට ආරම්භ වෙනවා. තරගය ආරම්භ කරන මොහොතේ සිට අපි ලබාදෙන කාලසීමාව තුළ වැඩිම එස්එම්එස් ලබන තරගකරුවා ජයග්‍රහණය ලබාගන්නවා. විටින් විට මේ එස්එම්එස් ප්‍රමාණය අපි තිරයේ ප්‍රදර්ශනය කරනවා. ප්‍රේක්ෂක සහභාගිත්වය කොහොමද? රටේ තියෙන සෞඛ්‍ය නීතිරීතිවලට අනුව ප්‍රේක්ෂකයන්ට මෙම තරගය නෙළුම් පොකුණට ඇවිත් බලන්න අවස්ථාවක් නැහැ. ඩ්‍රීම් ස්ටාර් අදියර 10ක් පුරා තරග කළ තරගකරුවන්ට තමයි මෙවර අපි අවසාන තරගය සජීවීව නැරඹීමේ අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට දෙරණ ටීවී ඔස්සේ අවසාන රාත්‍රිය සජීවීව නැරඹීමේ අවස්ථාව උදාවෙනවා. අවසාන රාත්‍රියේ සුවිශේෂී ඉසව් තිබෙනවාද? මේක ඩ්‍රීම් ස්ටාර් තරගකරුවන්ගේ තරගයක්. අවසාන වටයට ආපු 48 දෙනාටම වෙදිකාවේ ඉඩක් වෙන් කරලා තියෙනවා. වෙන කිසිම ආරාධිත කලාකරුවෙක් ප්‍රසංගයට සහභාගි වෙන්නේ නැහැ. ඩ්‍රීම් ස්ටාර් තරගකරුවන් පමණයි. ශික්ෂා සංගීත කණ්ඩායම, සුරේෂ් මාලියද්ද එක්ක එකට එකතු වෙලා ශිල්පීන් 50කට ආසන්න ප්‍රමාණයක දැවැන්ත සංගීත කණ්ඩායමක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම චන්න විජේවර්ධන හා මුද්දිකා ස්වර්ණතිලක එක් කරන අපූරු නර්තන අංගයන් එදින දැකබලා ගන්නත් පුළුවන්. අවසාන තරගයේ ජයග්‍රාහකයන්ට ලබාදෙන ත්‍යාග ගැන කියනවා නම්... මම හිතන්නේ රියැලිටි ඉතිහාසයේ අවසාන තරගයක ලබාදෙන ඉහළම ත්‍යාග මුදල දෙරණ මෙවර ලබාදෙනවා. ප්‍රථම ස්ථානයට මිලියන 25ක් වටිනා නිවසක් සමගින් රුපියල් ලක්ෂ 10ක ත්‍යාගයක් හිමි වෙනවා. මීට අමතරව ලක්ෂ ගාණක අනුග්‍රාහකයන්ගෙන් තවත් ත්‍යාග ලැබෙනවා. දෙවැනි ස්ථානයට ලක්ෂ 05කුත්, තුන්වැනි ස්ථානයට ලක්ෂ 03කුත් සමගින් තවත් අමතර ත්‍යාග ලැබෙනවා. තුන්වැනි ස්ථානයේ ඉඳන් 16 වැනියා දක්වා තරගකරුවන් රුපියල් ලක්ෂයක් සහ අනුග්‍රාහක ත්‍යාග ලැබෙනවා. මීට අමතරව තරගාවලියේ දක්ෂතා දැක්වූ පැතුම් විමලවීරට සංගීත ශිෂ්‍යත්වයක් හා කාවින්ද ඒකනායකගේ නිවාස ප්‍රශ්නයට විසඳුමක් ලෙස නිවසක්ද, ගීත ඇල්බම් එකක් කරන්න අනුග්‍රාහකයකු ලබාදෙනවා. මේ වෙනුවෙන් කීර්ති පැස්කුවෙල් මහතා දායකත්වය සපයනවා. මම හිතන්නේ මිලියන 50කට වඩා ත්‍යාග අවසාන තරගය පුරා බෙදී යනවා. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර

දෙරණ ඩ්‍රීම් ස්ටාර් 10 අවසන් මහා තරගයට සහභාගිවීමට පෙර සිහින තරු තුන අරුණ රූ සැදෑවට සහභාගි වූ අවස්ථාව මෙතනින් නරඹන්න....

 

More News..