brand logo

ඩ්‍රෑෂ් බෝඩය මත ඇති බුදු පිළිමය ඉවත් කිරීමට පොලිස් නිලධාරියා උපදෙස් දුන්නේ නැහැ - පොලිස් මූලස්ථානය

22 October 2019

මෝටර් රථයක සවිකර තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දුන් බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල වූ පුවත අසත්‍යක් බවට පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම නිවේදනය මගින් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දන්වා ඇත්තේ මේ ආකාරයෙනි... පසුගිය දිනෙක පුද්ගලයෙකු විසින් සමාජ මාධය ජාලා වෙත වීඩියෝ පටයක් නිකුත් කර තිබූ අතර, එය තුළ අන්තර්ගතව තිබුණේ යම් රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් මෝටර් රථයේ ඉදිරියේ ඇති කුඩා බුදු පිළිමයක් ඉවත් කරන ලෙස දැනුම් දුන් බවයි. මේ සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියමය මත පොලිස් මූලස්ථානයේ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබදව අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා විසින් විමර්ශනයක් සිදුකරන ලද අතර, එම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ප්‍රධාන වින්ස්ක්‍රීනය අවහිර වන ලෙස මැද කණ්නාඩියේ පහතට වැටෙන සේ සවි කර තිබූ මල් මාලා ඉවත් කිරීමට අදාළ පොලිස් නිලධාරියා විසින් උපදෙස් ලබාදී ඇති බවයි. කිසිම විටක පොලිස් නිලධාරියා බුදු පිළිමය ඉවත් කිරීමට උපදෙස් ලබාදී නැත. මෙම විමර්ශනයට අදාළව අදාළ පුද්ගලයාගේ ප්‍රකාශයට අමතරව තවත් 04 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම ප්‍රකාශ අනුවද පැහැදිලි වන්නේ බුදු පිළිමයක් ඉවත් කිරීමට පොලිස් නිලධාරියා උපදෙස් දී නොමැති බවයි. වාහනවල ඉදිරි වින්ස්ක්‍රීන වැසෙන සේ මල් මාලා, කුඩා මල් පෝච්චි එල්ලාගෙන යෑම හා ඩ්‍රෑෂ් බෝඩය මත සවි කිරීම තුළින් ඉදිරි දර්ශන අපැහැදිලි වන අතර එමගින් අනතුරු සිදුවේ. එම වරද සම්බන්ධව රියදුරුට දැනුම් දී ඇත. රියදුරු විසින් වෙනත් ආකාරයට අර්ථ නිරූපනය කරමින් බුදු පිළිමය ගැලවීමට පොලිස් නිලධාරියා උපදෙස් ලබාදුන් බව පවසා වීඩියෝව නිකුත් කර ඇත. අදාල පුවත මගින් ජාතීන් අතර, ආගම් අතර විසන්වාදය, වෛරය ඇති වන අකාරයට කටයුතු කර තිබෙන බවට බැලූ බැල්මට පෙනෙන බැවින්, එම පුවත් පළ කළ පුද්ගලයා සහ චේතනාන්විතව සමාජ මාධය ජාලා හරහා එය බෙදා හරින ලද පුද්ගලයින්ට එරෙහිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතික පනතේ 3 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇද්දැයි විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එම විමර්ශනය මගින් අනාවරණය වන කරුණු අනුව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බව පොලිස් මූලස්තානය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
 

More News..