brand logo

ඩ්‍රම්ස් උපාධියට සැරසෙන ප්‍රථම කාන්තාව

31 August 2019

ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නාළිකාවෙන් තාරුණ්‍යයේ ජනප්‍රියතම ටෙලිනාට්‍යය ලෙසින් ‘‘සංගීතේ’’ පත්ව තිබේ. සංගීතේ නාට්‍යයේ මහීගේ සංගීත කණ්ඩායමේ අමායා නම් චරිතයෙන් රංගන කරළියට පිවිසෙන ඇය නවක රංගන ශිල්පිනී සචිනි රණවකයි. මේ වනවිට ඇය කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. ශ්‍රී ලංකා ඉතිහාසයේ කාන්තාවක් ප්‍රථම වරට ඩ්‍රම්ස් වාදනයෙන් උපාධියක් හිමිකර ගැනීමට සූදානමින් ඉගෙනීමේ කටයු කරන එකම කාන්තාවයි. කොහොමද ගමන පටන් ගත්තේ? මම ඉපදුණෙත්, දැන් පදිංචි වෙලා ඉන්නෙත් බොරලැස්ගමුවේ. අම්මා, තාත්තා මතුගම. පස්සේ තමා ඒ අය බොරලැස්ගමුවේ පදිංචියට ඇවිත් තියෙන්නේ. කොහෙද ඉගෙන ගත්තේ? නුගේගොඩ Louvre ජාත්‍යන්තර පාසලට තමා මුලින්ම ගියේ. 7 වසරෙන් පස්සේ නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් වෙනවා. පසුව උසස් පෙළ කරන්න කොළඹ විශාඛා විද්‍යාලයට ගියා. ඉගෙන ගත්තේ කවුරු වෙන්නද? කලා අංශයෙන් අධ්‍යාපනය ලැබුවේ. මාධ්‍ය හා සන්නිවේදනය, නාට්‍ය හා රංග කලාව, සංගීතය යන විෂයන් තමා මම තෝරාගත්තේ. සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්න ඕනකම තිබුණා. පාසලේදී කලා කටයුතුවලට දායක වෙනවා? පාසලේදී පැවැත්වෙන විවිධ ප්‍රසංගවලට මම හැමවිටම වාගේ ප්‍රමුඛතාව ලබාදීලා සම්බන්ධ වුණා. ඩ්‍රම්ස් වාදනයට, ගායනයට වගේම නර්තනයටත්, සමස්ත ලංකා මට්ටමින් ඒකල, සමූහ, ශාස්ත්‍රීය ගායන හා නාට්‍ය රංගන, නර්තන තරගවලින් ජයග්‍රහණ ලබා පාසලේදී ඔබට සුවිශේෂී චරිතයක් මුණගැසෙනවා නේද? ඔව්, සංගීතවේදී දර්ශන රුවන් දිසානායක සර්. අපේ පාසලේ විවිධ ප්‍රසංගවලට හැමවිටම වාගේ පුහුණුවීම් කරන්න ආවේ ඔහු. මට මේ ගමන ඉදිරියට එන්න ලොකු සහයෝගයක්, ශක්තියක් ලබාදීලා ඉදිරියට ගත්තේ සර් තමයි. අද මේ දක්වා මේ ගමන ඇවිත් තැනක ඉන්නෙත් සර් දීපු ඒ සහයෝගය නිසා. ඉස්කෝලෙන් පස්සේ? මම කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරෙනවා. දැන් එහි දෙවන වසරේ ඉගෙනුම ලබනවා. ඩ්‍රම්ස් වාදනයෙන් තමයි උපාධිය කරන්නේ. මම හිතන්නේ මං තමයි ලංකාවේ ප්‍රථම වතාවට ඩ්‍රම්ස් වාදනයෙන් උපාධියක් ලබන්නේ. ඊට අමතරව පියානෝව වාදනය, ශාස්ත්‍රීය හා බටහිර ගායනය පිළිබඳවත් මම හදාරනවා. ගැහැනු ළමයෙක් ඇයි ඩ්‍රම්ස් වාදනයම තෝරා ගත්තේ? මම ගොඩක් ආසයි ඒකට. ගෑනු ළමයෙක් සාමාන්‍යයෙන් මේක තෝරගන්නේ නෑ තමයි. ඒ වුණත් මට වෙනසක්, විප්ලවයක් කරන්න ඕනෑ වුණා. ඒ ඩ්‍රම්ස් වාදනය පැත්තෙන්. ඒ නිසා තමා මං ඒකම තෝරාගත්තේ. එතකොට ඔබ අභියෝගයක් කරනවාද අද ලංකාවේ ඉන්න හොඳම ඩ්‍රම්ස් වාදන ශිල්පියා වන මහින්ද සිල්වට? අනේ මට එහෙම කරන්න වුවමනාවක්, අදහසක් නෑ. මට එයා එක්ක එහෙම කරන්නත් බෑ. මට තව ගොඩාක් දේවල් මේ ඩ්‍රම්ස් වාදනය පැත්තෙන් ඉගෙන ගන්න තියෙනවා. ඔබට ඔහුව හමුවෙලා තියෙනවාද? නැහැ. මම හරි ආසාවෙන්, කැමැත්තෙන් ඉන්නවා මහින්ද සිල්වා මහතාව හමුවෙන්න. මට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඔහුගෙන්. සංගීතේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද? මම දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගයේ 7 වන වටයට අයැදුම් කළේ අහම්බෙන්. එයට සහභාගි වෙලා තමා ටිකෙන් ටික 10 වන ස්ථානය දක්වා ඉදිරියට ආවේ. පස්සේ තමයි මට දෙරණේ ලක්සිරි සර් ආරාධනා කළේ සංගීතේ ටෙලිනාට්‍යයේ රංගනයට. එය මාගේ පළමු රංගනය නොවේ. දෙරණේ මාසිකව සෑම පුන් පොහෝ දිනයක් වෙනුවෙන්ම විකාශනය වන චිත්‍රපටයකට මම මුලින්ම රංගනයෙන් දායක වුණා. පස්සේ නැවත සංගීතේ ටෙලිනාට්‍යයට අවස්ථාව ලැබුණා. සංගීතේ නාට්‍යයට අමතරව රංගනයට හා ගායනයට අවස්ථාව ලැබිලා තියෙනවාද? සංගීතවේදී දර්ශන රුවන් දිසානායක සර්ගේ ‘ගොවි තාත්තා’ චිත්‍රපටයට රංගනයෙන් එක්වුණා. සර්ගේ අත්දැකීමක් ඇසුරින් තමා ඒ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. මම චිත්‍රපටයකට ගීත ගායනයෙන් හා රංගනයෙන් ප්‍රථම වරට එක්වෙන්නෙත් මේකෙන්. මේ චිත්‍රපටයේ එන හද්ද පිටිසර ගමක දුප්පත් ගෑනු ළමයකුගේ චරිතයක් තමා  නිරූපණය කරන්නේ. ඉදිරියට ඒ චිත්‍රපටය බලලම වැඩි විස්තර දැන ගන්න පුළුවන්. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් හතරකට පසුබිම් ගීත දෙහෙකටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. එතකොට ගායන පැත්තෙන්? මම 2012 දී විශාරද විභාගය කළා. අලුතින් මගේම ගීත දෙකක් කළා. එක ගීතයක් මෑතකදී එළි දැක්වූවා. මේ වෙනකොට ඒ ගීතය යූ ටියුබ් එකට දාලා තියෙනවා. ‘ආදරයේ කුසුම’ තමයි ඒ ගීතය. එහි පද රචනය අමිල තේනුවර. සංගීතය දර්ශන රුවන් දිසානායක යන අය විසින් සිදුකර තිබෙනවා.
හේමන්ත බණ්ඩාර
   
 

More News..