brand logo

ටොම් ඇන්ඩ් ජෙරී අධ්‍යක්ෂ මිය යයි

21 April 2020

ලොව පුරා ළමයින් අතර අතිශයින් ජනප්‍රිය ‘ටොම් ඇන්ඩ් ජෙරී’ කාටුන් මාලාවේ අධ්‍යක්ෂ ඔස්කාර් සම්මානලාභී ජෙස් ඩීච් අභාවයට පත්විය. මියයන විට ඔහු 95 හැවිරිදි වියේ පසුවිණි. ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේදී ප්‍රාග් නුවර පිහිටි ඔහු ජීවත් වූ මහල් නිවාසයේදීම ජෙස් ජීවිතයෙන් සමුගෙන ගොස් තිබිණි. අනපේක්ෂිත ලෙස ඔහු මියගිය පුවත කනගාටුවෙන් දැනුම් දීමට සිදුව ඇති බව ජෙස්ගේ ප්‍රකාශක පීටර් හිමෙල් AP පුවත් සේවයට පවසා ඇත. ජෙස් ඩීච් (Gene Deitch) යනුවෙන් ලොව දැන සිටි ඉයුජින් මෙරිල් ඩීඩ් ‘ටොම් ඇන්ඩ් ජෙරී’ කාටුන් මාලාවේ කොටස් 13ක් අධ්‍යක්ෂණය කළේය. පොප් අයි කතාංග කිහිපයක්ද ඔහු අධ්‍යක්ෂණය කර තිබේ. උතුරු ඇමරිකානු ගුවන් සේවයේ සැලසුම් ශිල්පියකු ලෙස කටයුතු කළ ජෙස් පසුව හමුදාවේ සැලසුම් ශිල්පියකු ලෙසද ගුවන් නියමු පුහුණුකරුවකු ලෙසද සේවය කළේය. වෛද්‍ය හේතූන් මත සේවයෙන් ඉවත් වීමෙන් පසු 1959 වසරේ සිට ප්‍රාග් නුවර ජීවත් වූ ඔහු කලා ක්ෂේත්‍රයට යොමුවිය. ඔහු අධ්‍යක්ෂණය කළ Munro චිත්‍රපටයට 1960දී හොඳම කාටුන් කෙටි චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානය හිමිවිය. 1964දී මේ සම්මානය සඳහා ඔහු දෙවතාවකදීම නිර්දේශ විය. ඒ Hen's Nudhik හා How to Avoid Friendship චිත්‍රපට වෙනුවෙනි. ඊට පෙර ඔහු Tom Terrific කතා මාලාව නිර්මාණය කළ අතර ඒ අවධියේදීම Sidney's Familly Tree සඳහා සම නිෂ්පාදනයෙන් එක්විය. එයද 1958දී ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ විය. ජෙස්ට පළමු විවාහයෙන් පුතුන් තිදෙනකු සිටින අතර, ඔවුන් තිදෙනාම කාටුන් ශිල්පීන්ය. ඔහුගේ අභාවය දැන ගැනීමත් සමග ටොම් ඇන්ඩ් ජෙරී රසිකයෝ ටිවිටර් පණිවිඩ තබමින් සිය ශෝකය පළ කරන්නට වූහ. එක් පණිවිඩයක සඳහන් වූයේ ‘මා සතුටු වන්නේ ජෙස් ඩීච්ට අවසානයේදී ඔහුට ලැබිය යුතු අවධානය ලැබුණු නිසා. ටොම් ඇන්ඩ් ජෙරීගෙන් ලැබුණු පිළිගැනීමටත් වඩා ඔහු ඉහළයි. ඔහු සදහටම අපගේ මතකයේ රැඳෙනු ඇති...’ යනුවෙනි.   ධම්මික සෙනෙවිරත්න
 

More News..