brand logo

ටෙස්ට් රටවල් හැළුණු පළමු ලෝක කුසලාන තරගාවලිය

25 May 2019

මේ එළැඹෙන්නේ 12 වැනි ලෝක කුසලාන සටනයි. වර්ෂ 1975 තෙක් දිවෙන ලෝක කුසලාන ඉතිහාසය හා සැසඳීමේදී මෙම ලෝක කුසලානේ පමණක් දකින ප්‍රධාන කරුණු දෙකකි. එකක් නම් ටෙස්ට් තත්ත්වය හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය නොලැබූ රටක සහභාගීත්වය නොලබන පළමු ලෝක කුසලාන මෙය වීමය. දෙවැන්න නම් ටෙස්ට් තත්ත්වය හිමිවූ රටවල් සියල්ලටම අවස්ථාව නොලැබෙන පළමු ලෝක කුසලානද මෙය වීමය. ඒ අනුව එදා 1975 පළමු ලෝක කුසලානේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාවද, 1979 දී ශ්‍රී ලංකාව සහ කැනඩාවද, 1983 දී සිම්බාබ්වේද ආදී ලෙසින් ටෙස්ට් තත්ත්වය නොලැබූ රටක් හෝ රටවල් කිහිපයක් වෙනුවෙන් අනිවාර්ය ඉඩක් හිමිවූ ලෝක කුසලාන ඉතිහාසය මෙවර ලෝක කුසලානෙන් අවසන් වනු ඇත. එසේම මේ වන විට ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තයද සමගින් ටෙස්ට් තත්ත්වය ලැබූ රටවල් 12ක් සිටියද ඒ අතුරින් සිම්බාබ්වේ සහ අයර්ලන්තයට මෙම ලෝක කුසලාන නැරඹීමට පමණක් සිදුව තිබේ. මෙසේ ටෙස්ට් තත්ත්වය ලැබූ රටවලටද අවස්ථාවක් නොලැබෙන සේ මෙම ලෝක කුසලාන ආකෘතිය හැදීමේදී එදා එය යම් මතභේදාත්මක බවක් ද ඇති කළේය. නමුත් 2017 සැප්තැම්බර් 30 වැනිදා වන විට පැවැති අයි.සී.සී එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීමේ පළමු ස්ථාන 7 දිනූ කණ්ඩායම් සහ සත්කාරක එංගලන්තය මෙම ලෝක කුසලාන සඳහා අනිවාර්ය සුදුසුකම ලබන බවත්, එයින් පහළ කණ්ඩායම් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගී වී ඒ අතුරින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙකෙන් (කණ්ඩායම් 10කට පමණක් අවස්ථාව හිමිවන) ලෝක කුසලානේ ඉතිරි හිදැස් දෙක පුරවාලන බවත් අයි.සී.සී යේ තීරණය විය. එදා පළමු සහ දෙවැනි ලෝක කුසලාන දෙකම දිනාගත් බටහිර ඉන්දීය කොදෙව්වන්ට මෙදා මෙම ලෝක කුසලාන සඳහා, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ දෙවැනි පෙළ කණ්ඩායම් සමගින් තරග වැදීමට ඒ අනුව සිදුවීම දෛවෝපගත විය. ශ්‍රී ලංකාව එදා මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් බේරුනේ අනූනවයෙනි. අවසානයේ බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය යන ටෙස්ට් රටවල් තුනටම සෙසු අයි.සී.සී සහකාර රටවල් සමග ලෝක කුසලාන සුදුසුකම වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. එහි අවසන් මහා තරගයට පැමිණි කොදෙව්වන් සහ ඇෆ්ගනිස්තානය ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලබාගත්තද, කොදෙව්වන් එම අවසන් සටනේදී ඇෆ්ගනිස්තානය හමුවේ පැරදුනි. 1983 සිට අඛණ්ඩව සෑම ලෝක කුසලානකටම සුදුසුකම් ලබාගත් සිම්බාබ්වේ හට මෙවර එම අවස්ථාව අහිමිවූයේ මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී තෙවැනි ස්ථානයට පත්වූ බැවිනි. එහිදී ස්කොට්ලන්තයද පසුපසින් සිටි, ටෙස්ට් රටවල ලාබාලම සාමාජිකයා වන අයර්ලන්තය 5 වැනි තැනට පත්ව ලෝක කුසලාන වරම් අහිමිකරගත් පළමු ටෙස්ට් රටවල් දෙක අතරට වැටුණි. තරග 45ක් අවසානයේ රුපියල් ලක්‍ෂ 7000ක ත්‍යාගයක් මේ අයුරින් ලෝක කුසලානය සඳහා වරම් ලබාගත් රවටල් 10 අතර තරග 48ක් අවසන ලෝක ශූරයන් කව්රුන්ද යන්න තීරණය වනු ඇත. ක්‍රිකට් ලෝක කුසලානක් සඳහා තරග පැවැත්වෙන නිශ්චිත ව්‍යුහයක් නැත. එය තරගාවලියෙන් තරගාවලියට වෙනස් වෙයි. මෙවර තරග පැවැත්වෙන්නේ 1992 ලෝක කුසලාන තරගාවලියේ තරග රටාව අනුවමය. ඒ අනුව එක් කණ්ඩායමක් අනෙක් රටවල් 9 සමගින්ම තරග වැදිය යුතුවේ. ලීග් ක්‍රමයට පැවැත්වෙන එම තරග අවසානයේ ලකුණු සටහනේ පෙරමුණේම සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. එහිදී එම සටහනේ අංක එකේ සිටින කණ්ඩායම එහි අංක 4 සමගින් එක් අවසන් පූර්ව තරගයක් පැවැත්වෙන අතර අනෙක් අවසන් පූර්ව තරගය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන අතර පැවැත්වේ. ශූරයන් සඳහා ඩොලර් ලක්‍ෂ 40ක් හෙවත් රුපියල් ලක්‍ෂ 7000කට අධික දැවැන්ත ත්‍යාග මුදලක් හිමිවන අවසන් මහා තරගය ජුලි 14 වැනිදා ලෝකයේ ක්‍රිකට් දෙවොල වන ‌ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට යෙදී තිබේ. මෙය ලෝඩ්ස් හි ලෝක කුසලාන අවසන් මහා තරගයක් පැවැත්වෙන 5 වැනි අවස්ථාව වේ. මෙයට ප්‍රථම 1975, 1979, 1983 යන පළමු ලෝක කුසලාන තරගාවලි සමග 1999 තරගාවලියේද අවසන් මහා තරගය පවත්වා ඇත්තේ මෙහිදීය. එම සෑම අවස්ථාවකම මෙන් මෙවරද මෙය දිවා තරගයක් ලෙසින් පැවැත්වේ. ඒ අනුව ලෝක කුසලානයක අවසන් මහා තරගය දිවා/රාත්‍රී මුහුණවරින් වෙනස්ව පැවැත්වෙන්නේ කලකට පසුය. එංගලන්තය සහ ඉන්දියාව කුසලාන බලාපොරොත්තුවේ ඉදිරියෙන්ම එකී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම පිණිස වැඩිම සම්භාවිතාවක් හිමි රටවල් ලෙසින් ක්‍රිකට් විචාරකයන් විසින් සඳහන් කරනුයේ එංගන්තය සහ ඉන්දියාවයි. ඒ අතුරින්ද ලෝක කුසලාන හිමිකරගැනීමේ වැඩිම ඉඩක් ඇත්තේ එංගලන්තයට බැව් මධ්‍යස්ථ විචාරකයන්ගේ මතයයි. වර්තමානයේ එංගලන්ත එක්දින කණ්ඩායම සිය දක්‍ෂතාවල උපරිමයකට පිවිස සිටියි. ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ අංක 1 හි ඔවුන් රැඳෙනුයේ අහම්බයකින් නොවේ. කණ්ඩායමේ පිතිකරුවන්ගේ සංයුතිය වැඩි කරමින් ඉනිම පුරාම තදින් පන්දුවට පහරදීමේ ඔවුන්ගේ අත්හදා බැලීම ඉහළින්ම සාර්ථක වී තිබේ. ඒ අනුව ඉනිමක ලකුණු 300ක් ඉක්මවා යෑම ඔවුනට කජු කනවා වැන්නකි. පකිස්තානය සමගින් ඉකුත්දා පැවැති තරගාවලියේදී ඔවුන් විසින් මෙය මනාව ඔප්පු කරන ලදි. ඔවුන්ගේ පන්දු යැවීම ඉතාම ප්‍රශස්ථ මට්ටමක නොමැති වුවද පන්දුවෙන් පෙරලි කිරීමේ හැකියාවක් ඇති පා දඟ පන්දු යවන අඩිල් රෂීඩ් ඇතුළු පන්දුයවන්නන් කිසිවිටෙකත් අවතක්සේරු කළ නොහැක. පන්දුවෙන් ඒ හැටි සහයක් නොමැතිව වුවද ඉකුත්දා පැවැති අයි.පී.එල් තරගාවලියේදී සිය පිත්තේ අනුහස් පෙන්වූ ආරම්භ පිතිකරු ජොනී බැරිස්ටෝ ප්‍රමුඛ ප්‍රවේගකාරී එංගලන්ත පිතිකරුවන් හට සිය පිතිහරඹයේ ජවයෙන් ප්‍රතිවාදීන් පසුබැස්වීමේ හැකියාව තිබේ. මෙවර ලෝක කුසලානට ඉදිරිපත්වන සෑම ඉරියව්වකම ලොව ඉහළම දක්‍ෂයන්ගෙන් සමන්විත ඉතාම සමබර කණ්ඩායම ලෙසින් හැඳින්වෙන්නේ එක්දින ශ්‍රේණිගත කිරීමේ ලොව අංක 2 හි සිටින ඉන්දියාවයි. ඉන්දීය උප මහද්වීපයේ ඇති තණතිලි හා එංගලන්තයේ තණතිලි වල ස්වභාවය වෙනස් වුවද, ඉන්දීය කණ්ඩායමේ දක්‍ෂතා අනුව ඔවුනට එංගලන්තයේදී වුව, තමන්ගේ රටේ තරගයක යෙදෙන පරිදි ක්‍රීඩා කළ හැකිය. එංගලන්තයේ ක්‍රීඩා කළත්, ඔවුන් වෙනුවෙන් දිරිගැන්වීමට ඉන්දියානුවන් මහා පිරිසක් පැමිණීම ඉන්දීය පිලට අතිරේක මානසික වාසියකි. වෙනදා තමන් විසින් සිදුකළ තරග ජයග්‍රාහීව නිමකරන්නාගේ කාර්යය මහෙන්ද්‍ර සිං දෝනි විසින් මේ දිනවල ඒ හැටි හොඳින් ඉටුනොකිරීම හා පසුපෙළ පිතිකරුවන්ගේ යම් අස්ථාවරත්වයක් හැරුණු විට ඉන්දීය පිල අනෙක් හැම අතින්ම ඉතාම විශිෂ්ට තැනක සිය දක්‍ෂතා රඳවාගෙන සිටියි. විරාත් කෝලිගේ අධිෂ්ඨානශීලී පිතිහරඹයත්, ජස්ප්‍රිට් බුම්රාගේ අරුම පුදුම පන්දුත් මෙවර ලෝක කුසලානේ සුවිශේෂී තැනක් ඉන්දියාවට ලියාදෙනු ඇත. පකිස්තානය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ පෙරළිකාර කොදෙව්වන් අතරින් සෙසු අවසන් පූර්ව සුදුස්සන් තේරෙනු ඇතැයි ක්‍රිකට් දැනමුත්තන්ගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාව කොතැනද? මෙවර ලෝක කුසලාන තරගාවලියේ අපේක්‍ෂිත දක්‍ෂතා අනුව කණ්ඩායම් පෙළගැස්වීමේදී අවාසනාවකට මෙන්, බොහෝ විචාරකයන් විසින් ශ්‍රී ලංකාව දමා ඇත්තේ එහි අවසන් තැනටයි. මෙවර ලෝක කුසලානට සහභාගී වනුයේ ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන දුර්වලම කණ්ඩායම යැයි පවසන විචාරකයෝ මෙම ලෝක කුසලානට ආසන්න කාලය ගත්විට, පිටිය මැදදී මෙන්ම පිටියෙන් එපිටද ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන්ගේ හැසිරීම් අවුල් සහගත වීම මෙයට හේතුව ලෙසින් දක්වා සිටිති. 2015 සිට එක්දින ක්‍රිකට් ක්‍රීඩා කර නොමැති දිමුත් කරුණාරත්න කණ්ඩායමේ නායකයා ලෙසින් නම් කිරීම ඇතුළුව අත්දැකීම් අවම පිලක් වශයෙන් ශ්‍රී ලංකාව බංගලිදේශය සහ ඊයේ පෙරේදා ටෙස්ට් වරම් ලැබූ ඇෆ්ගනිස්තානයටද පහළින් සිටින බව විචාරකයන්ගේ මතයයි. ශ්‍රී ලංකාව මෙහිදී කණ්ඩායමක් ලෙසින් කැපී පෙනෙන තැනක නොසිටින්නේ නමුත්, රංජන් මඩුගල්ල තරග තීරකවරයකු ලෙසින්ද, කුමාර ධර්මසේන සහ රුචිර පල්ලියගුරු විනිසුරුවරුන් ලෙසින්ද, මහේල ජයවර්ධන සන්නාම කළමනාකරුවකු ලෙසින්ද මෙහිදී ගෞරවනීය නියෝජනයක් ලංකාව වෙනුවෙන් ලබාදෙති. මැයි මස 30 වැනිදායින් ඇරැඹී ජුලි 14 වැනිදායින් අවසන් වන කාල වකවානුව හෙවත් දවස් 46ක් තුළ තරග 45ක රඟ ක්‍රිකට් ප්‍රේමී ලෝකයා විසින් සතුටින් විඳිද්දී, අප ලෝක කුසලානක් සහ අනුශූරතා දෙකක් දිනූ අතීතයක් සමග සසඳමින් විඳවයිද? නැතහොත්, අනපේක්‍ෂිත සතුටක හිමිකරුවන් වේද? ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..