brand logo

ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරනව කියන එක ලොකු අවදානමක්

23 July 2020

රන්තිලිවැව ටෙලි නාට්‍යයේ ශීලා ඔබ දැන් හොඳට හඳුනනව. ඒත් එක්ක පසුගිය සතියේ හදවතේ කතාවට එකතුවුණ සංවේදී මවත් ඇයමයි. නුවනි වලිමුනි තිරයේ බොහෝ චරිතවලට හිමිකාරියක් නොවුණත් සැබෑ දිවියේ සමාජයේ අවධානයට ලක්වන චරිත කිහිපයක අයිතිකාරිය වී සිටින නුවනි, තිරය මත සේම තිරයෙන් එහාත් විශේෂිත වූ වගකීම් දරන්න තරම් ශූර චරිතයක්. ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් ලෙස ඔබේ වර්තමානය හා ඉදිරි සැලසුම් මොනවද? ඔව්, අලුත් ටෙලි නාට්‍යයක නිෂ්පාදන කටයුත්තක් සැලසුම් සකස් කරමින් ඉන්නව. ඒ අතර අපි තවත් අලුත් තිර රචනයක් සොයමින් ඉන්නව. බොහෝ විට ඉදිරි කාලයේ නිෂ්පාදන දෙකක්ම එකවර ඇරඹෙන්නට ඉඩ තියෙනව. ඒ වගේම මේ දිනවල විකාශය වන රන්තිලි වැව හා හදවතේ කතාව ටෙලිනාට්‍යවල නිෂ්පාදිකාව විදිහට කටයුතු කරනව. ඔබේ නවතම ටෙලි නිර්මාණ පවතින රැල්ලෙන් වෙනස් වෙන්න හේතුව පැහැදිලිවම පවතින රැල්ලේ කතා තේමාවලින් මිදුන කතා තේමාවක් මගේ අලුත්ම නිෂ්පාදනය වෙනුවෙන් සොයමින් ඉන්නව. ඔබට දැනෙන්නෙ රංගනය හා නිෂ්පාදනය කියන කාරණා එක ළඟ යන වැඩ දෙකක් විදිහටද? දැන් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරනව කියන එක ලොකු අවදානම් තැනක තියෙන්නෙ. විශේෂයෙන්ම මම ආසයි චරිත කරන්න. එතනදි චරිතය ලොකු ද පොඩිද කියල නැහැ. කොටස් කීයකද චරිතය දිවෙන්නෙ කියන එකත් මට වැදගත් නැහැ. ඒත් මම ගොඩක් රඟපාන කෙනෙක් නෙවෙයි. මම ආසාවට රඟපාන කෙනෙක්. මෑත කාලයේ වඩාත් ආසාවෙන් රඟ පෑ චරිතය මොකක්ද? රන්තිලිවැව ටෙලි නාට්‍යයේ ශීලාගේ චරිතය මම හරිම පෙරේතකමකින් කළේ. නිෂ්පාදනයේ අවදානම සතුටින් විඳින්නේ අධික ලාභ ඉපයිය හැකි ව්‍යාපාරයක් නිසාද? ඇත්ත කතාව, ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරල අධික ලාබ ලැබීම කෙසේ වුවත් යොදවන මුදලවත් ලැබෙයිද කියන අවදානම තියෙනව. ඒ අතරින් මම දෙරණ නාළිකාවට ගරුකරනව. දෙරණ කියන්නෙ නිෂ්පාදකවරු රැකගෙන ගමනක් යන නාළිකාවක්. ටෙලිනාට්‍යයේ නිෂ්පාදිකාව වූ විට චරිත ලබාගැනීමේ අවස්ථා වැඩියි නේද? ඔව්, නමුත් මම එහෙම රඟපාන්නෙ නැහැ. උදාහරණයක් විදිහට මම නිෂ්පාදනය කරන හදවතේ කතාව විකාශය ඇරඹිලා කොටස් 130 ගෙවී ගිහිනුත් මම ඒකේ චරිතයක නැහැ. අවස්ථා කිහිපයකම අධ්‍යක්ෂවරයා චරිත දෙක තුනකටම මාව නම්කළා. ඒත් මම ඒ චරිත කළේ නැහැ. හේතුව මම ආස දැනෙන චරිත කරන්න. ඔබ කලා ලෝකයට එන්නෙ කොහොමද? චන්ද්‍රසේන වලිමුනි කියන්නෙ මගේ තාත්තා. තාත්තා හරහා තමයි මම කලාවට ආවේ. රඟපාන්න ලොකු ආසාවක් තිබුණෙ නැහැ. හැබැයි පාසල් කාලේ මම සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගවලදි හොඳම නළුවාගේ සම්මානයත් ගත්තා. පළමු රංගනය ගැන තියෙන මතකය? මට මුලින්ම ටෙලි නාට්‍යයක රඟපාන්න ඇරයුමක් ලැබුණම යන්න බැහැ කියල අඬලත් තියෙනව. මම මුලින්ම රඟපෑවේ චක්‍රායුධ ටෙලි නාට්‍යයෙයි. ඊට පස්සෙ නිතර රඟපාන්න අවස්ථා ලැබුණා. නමුත් මම අධ්‍යාපන කටයුතුවලටම යොමුවෙලා හිටිය නිසා රඟපෑමේන් දුරස් වුණා. රංගනය, නිෂ්පාදනය, කථිකාචාර්යවරිය මේ තනතුරු තුනෙන් වඩාත් හිත රැඳුන තැන කොතනද? මගේ වෘත්තිය ඒ කියන්නෙ කථිකාචාර්ය තනතුරට තමයි ගොඩක් කැමති. මොකද ඒක මගේ උගත්කම නිසා මට ලැබුණ දෙයක් නිසා මම හිතනව මේක මට ආභරණයක් කියල. අනික මම දකිනව ඕනම දෙයක් තුළ උගත් කමත් එක්ක යද්දි ඒකේ වටිනාකම වැඩියි. නුවනි ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමු වෙන්නෙ පවුලේ ව්‍යාපාරයක් විදිහටද? මුලින්ම නිෂ්පාදන කටයුතු කරන්න ගත්තෙ මගේ අම්මා. ඇය සුසිලා කාන්ති විජේසිංහ. අම්ම නිෂ්පාදන කටයුතු කරද්දි ආව ආසාවක් තමයි නිෂ්පාදන කටයුතු කරන්න ඕන කියන එක. මොකද අම්මා නිෂ්පාදන කටයුතු කරද්දි නිතරම ඇය පිටුපසින්ම හිටියෙ මම. ඒ නිසා තමයි මටත් ආසාවක් ඇතිවුණේ නිෂ්පාදන කටයුතු කරන්න. නුවනි රඟපාන්නේ නුවනිගේ නිෂ්පාදනවල විතරද? එහෙම නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් බාරගන්නව. මට ඉදිරියේදි රේස් කියන ටෙලි නාට්‍යයක රඟපාන්නත් කතා කරල තියෙනව. නුවනිගේ පුද්ගලික දිවියේ තොරතුරු මොනවද? මම විවාහකයි. විවාහය තනිකරම තිරය පිටුපස තියෙන දෙයක්. මගේ ෆේස්බුක් පිටුවේ වත් අපේ දිවියට අදාළ ඡායාරුපයක් වත් මම දාන්නෙ නැහැ. පුද්ගලික දේවල් ප්‍රසිද්ධියේ කතාකරන්න මම කැමති නැහැ. මම සාර්ථක විවාහ ජීවිතයක් ගෙවන කෙනෙක්. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..