brand logo

ටී 10 ආකෘතිය දිගේ ඔලිම්පික් යමු - සංගක්කාර

13 January 2021

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉසව්වක් ලෙසින් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම සඳහා පන්දුවාර 10 ක්‍රිකට් රටාව ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සහ මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති කුමාර් සංගක්කාර පවසා ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘ඩුබායි ටී 10’ ක්‍රිකට් තරගාවලියේ අබුඩාබි කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසින් එම තරගාවලිය සඳහා එක්වීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයක් සමගින් සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී සංගක්කාර මේ බව කියා තිබිණි. එහිදී අදහස් දැක්වූ සංගක්කාර ‘ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරගැනීම සඳහා විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. සියලුම රටවල් පාහේ මෙයට සම්බන්ධ වෙන්නත් අවශ්‍යයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් මෙයට හොඳ ශක්තිමත් තල්ලුවක් තිබීමත් වැදගත්. ඒ වගේම මෙම ක්‍රීඩාව ස්ථානයට ගැලපෙන ආකෘතියක් වෙන්නත් ඕනේ. මෙහිදී වේලාව සහ කාල සීමාවන් ගැන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වන අතර ඔලිම්පික් නරඹන්නන් සැබවින්ම විනෝදයට පත්වන සේ ඔවුන් මෙම ක්‍රීඩාව හා සම්බන්ධ කර ගැනීමත් කළ යුතුයි. සාම්ප්‍රදායික ක්‍රිකට් ලෝලියා ගැන පමණක් නොව සම්පූර්ණයෙන්ම නව ප්‍රේක්ෂකයාගේද අවධානය යොමුවන පරිදි එය සිදු කිරීම අවශ්‍යයි’ යනුවෙන් පැවසුවේය. ඔලිම්පික් උළෙල සඳහා පෙලඹවීමක් ලෙසින් වරෙකදී ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වූ නමුත් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ආකෘතිය සඳහා එය නොගැළපුණු බවද, මෙහිදී සංගක්කාර කියා සිටියේය.
 

More News..