brand logo

ටික්ටොක් කිරි සමන් දැරියක් කෙලෙසයි

17 January 2022

කිරි සමන්ගේ පැටිකිරිය සේරම මට්ටු

කථන ආබාධිත (ගොළු) මවුපිය දෙපළකට දාව උපන් එකොළොස් හැවිරිදි එකම දියණිය රවටා සාදවලට රැගෙන ගොස් මත්ද්‍රව්‍ය ලබාදී ඇයව වරින් වර දූෂණයට ලක් කළ බව කියන ‘ටික්ටොක් කිරි සමන්’ ඇතුළු තරුණයන් සිවුදෙනෙකු සහ තරුණියන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කීවේය. අදාළ එකොළොස් හැවිරිදි දැරිය මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පැවසීය. ඉකුත් ජනවාරි 1 වැනිදා දෙහිවල ප්‍රදේශයේ සාදයකට සහභාගි වීම සඳහා නිවසින් පිටව ගිය දැරිය පසුදින නිවසට නොපැමිණි බවට ඇයගේ දෙමව්පියන් විසින් පැමිණිල්ලක් සිදුකර තිබූ බව පොලිසිය කීවේය. එදින පැය කිපයකට පසු දැරිය නිවසට පැමිණ ඇතත්, පොලිසියට ඇති වූ සැකයක් මත දැරිය පොලිසිය වෙත ගෙන්වාගෙන මුල්ලේරියාව රෝහල වෙත යොමු කර ඇත. එහිදී අන්තරාදායක ඖෂධ මත්ද්‍රව්‍ය ශරීරගත වි ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා විසින් තහවුරු කරගෙන තිබේ. ඉන්පසු මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 2021 වසර අගභාගයේදී මෙම දැරිය ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් තරුණියක හඳුනාගෙන තිබුණි. පසුව ඇය මාර්ගයෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේ තරුණයකු සහ රාජගිරිය ප්‍රදේශයේ ‘ටික්ටොක් කිරි සමන්’ නමැත්තා ද හඳුනාගෙන තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කීවේය. ‘ටික්ටොක් කිරි සමන්’ නමැත්තා සාදයකට පැමිණෙන ලෙස දැරියට කළ ආරාධනාවක් අනුව දැරිය මවුපියන්ට සහ එකම සහෝදරයට හොරෙන් දෙසැම්බර් මාසයේ දිනක රාත්‍රී 12.00ට පමණ නිවසින් පිට වී සාදයට ගොස් නැවත අලුයම 4.00ට පමණ නිවසට පැමිණ තිබූ බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණ වී ඇත. එහිදී ‘ටික් ටොක් කිරි සමන්’ නැමැත්තා දැරිය දූෂණය කර තිබූ අතර, ඔහු සමඟ සිටි තවත් පුද්ගලයකු දැරිය හා ලිංගිකව එක් වී තිබූ බව ද දැරිය පවසා තිබේ. අනතුරුව දෙසැම්බර් මස 20, 21 හා 22 යන දිනවලින් එකකදී පෑලියගොඩ ප්‍රදේශයේ සාදයකට යන බව මව්පියන්ට පවසා දැරිය නිවසින් පිටවී ගොස් තිබූ අතර, පසු දින අලුයම 6.30 පමණ ඇය නැවත නිවසට පැමිණ තිබූ බව පොලිසිය කීවේය. එහිදී ද ‘ටික්ටොක් කිරි සමන්’ සහ තවත් පුද්ගලයකු දැරිය සමඟ සමග ලිංගිකව එක් වී ඇතැයි ද පොලිසිය පැවසීය. එම සාදයේදී කැලණිය ප්‍රදේශයේ තරුණයකු ද දැරිය හඳුනාගෙන තිබූ අතර, ඔහුගේ ආරාධනාව මත ජනවාරි 1 වැනිදා දෙහිවල ප්‍රදේශයේ සාදයකට දැරිය සහභාගී වී තිබුණි. එදින නිවසට පැමිණීමට රෑ බෝ වූ හෙයින් එම පුද්ගලයා විසින් කැලණිය ප්‍රදේශයේ සිය මිතුරකුගේ නිවෙසට දැරිය රැගෙන ගොස් දැරිය සමඟ එදින ද ලිංගිකව හැසිරී ඇතැයි දැරියගේ ප්‍රකාශයෙන් අනාවරණ වූ බව පොලිසිය සඳහන් කළේය. පසුදින දහවල් වනතෙක් තම දියණිය නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් කතා නොකළ මවුපිය යුවළ, තලංගම පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඊට පැය කිහිපයකින් අනතුරුව දියණිය නිවසට පැමිණි බවට පැවසූ බව පොලිසිය කීවේය. මැටි ගසන ලද කුඩා කාමරයකට තමන්ව රැගෙන ගිය බව දැරිය පැවසුවද, එවන් ස්ථානයක් මෙතෙක් නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. දැරිය සාද වලට රැගෙන ගිය සෑම අවස්ථාවකදීම දැරියට විවිධ මත්ද්‍රව්‍ය ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ. අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් අවුරුදු 19 - 22 අතර වයසේ පසුවන්නන් බවත් ඔවුන් රාජගිරිය, මට්ටක්කුලිය සහ කැලණිය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය කීවේය. දැරිය අපයෝජනයට ලක් කළ තවත් පුද්ගලයන් කිහිදෙනකු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිසිය පැවසීය. එස්. ජයසිංහ - කහතුඩුව
 

More News..