brand logo

ටිං ටිං ට අවුරුදු අනූවයි පොත් කවරය රුපියල් මිලියන 200 යි

17 June 2019

20 වැනි සියවසේ ජනප්‍රියම කාටූනය ‘ටිං ටිං’ වන බවට කිසිදු සැකයක් නැත. 1929  බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පළ වූ ‘le vingtieme siecle’ නමැති පුවත්පතේ ළමා අතිරේකයේ පළ වූ ‘චිත්‍ර කතාවක්’ වූ එය පසුව ‘පුංචි තිරයේ’ කාටූන් කතා මාලාවක් වශයෙන් ද විකාශය විය. පසුව 2011 දී ලෝක ප්‍රකට සිනමාකරුවෙකු වූ ‘ස්ටීවන් ස්පීල්බර්ග්’ විසින් ‘රිදී තිරයට’ ද නැඟුණු එය, ඇමෙරිකානු ඩොලර් මිලියන 375 ක් උපයමින් වාර්තා පිට වාර්තා තැබුවේය. මේ ආකාරයෙන් භාෂා සියයකට වඩා වැඩි සංඛ්‍යාවකට පරිවර්තනය වී, මුද්‍රිත මාධ්‍යයෙන්, පුංචි තිරයෙන් පමණක් නොව රිදී තිරයෙන් ද ලොව වටා ගොස් තිබෙන ‘ටිං ටිං’ ට වයස අවුරුදු ‘90’ පිරෙන්නේ මේ වසරටයි. එය ද හේතුවක් කොට ගෙන පසුගිය සෙනසුරාදාවේ බෙල්ජියමේ බ්‍රසල්ස් ආසන්නයේ පිහිටි ටිං ටිං කෞතුකාගාරයේ දී ටිං ටිං කතා මාලාවේ පළමුවැනි පොතේ කවර සිතුවම ප්‍රසිද්ධියේ වෙන්දේසි කෙරුණි.  එම පොත් කවරය රුපියල් මිලියන 200 කට මිල නියම වී තිබුණි. එම කවර සිතුවමෙහි දැක්වුණේ, ගස් කොටයක් මත වාඩි වී සිටින ටිං ටිං ඇද ගැසුණු ගුවන්යානා තටුවක් පිළිසකර කරන ආකාරය යි. ටිං ටිං අසල සිටින ‘ස්නෝවි’ නමැති බලුපැටවා නාසයේ සිට වල්ගය දක්වා ‘බැන්ඩේජ් කරගෙන’ සිටී. බැලූ බැල්මට ම පෙනෙන්නේ, ‘ස්නෝවි’ බැන්ඩේජ් කර තිබීමත්, ගුවන්යානා තටුව ඇද ගැසී තිබීමත් ‘ටිං ටිං ගේ තවත් වික්‍රමාන්විත වැඩක’ ප්‍රතිඵල වන බවයි. කවර චිත්‍ර සටහනේ කෙළවරක, ‘හර්ජ්’ යනුවෙන් අත්සන් තබා ඇති අතර එය එහි නිර්මාණකරුවා වන බෙල්ජියම් ජාතික ‘ජෝජස් රෙමී’ තමන්ව ලෝකයට හඳුන්වා දුන් ආකාරය විය. ‘‘වෙන්දේසියට දැමුණු මුල්ම පොතේ කවර චිත්‍රය තමයි අපි සතුව තිබුණු පැරණිතම සිහිවටනය. ඒකට ඉතා ඉහළම මිලක් නියම වීම ගැන සතුටුයි. ඇත්තෙන්ම අපිවත් හිතුවෙ නෑ මේ තරම් ඉහළ ලංසුවක් ලැබෙයි කියලා...’’ යැයි පවසන්නේ, ටිං ටිං කෞතුකාගාරයේ භාරකරුවා ය. කෙසේවෙතත්, ගැනුම්කරු තවමත් මාධ්‍යයට සිය අනන්‍යතාව හෙළිකර නැති නමුත්, ඔහු ද අනිවාර්යයෙන් ම ‘ටිං ටිං රසිකයෙකු’ වන බවට නම් සැක නැත. කෙසේ වෙතත් මේ ගනුදෙනුව ගැන ආරංචිය ‘කැප්ටන් හැඩොක්’ට ලැබුණේ නම්, ඔහු මෙසේ කියනු ඇත. ‘‘බුබුළු නගින බෙලිකටු කිව්වලු... මෙච්චර මිලක්... හිතාගන්නවත් බෑ...’’ ටිං ටිං නමැති තරුණ වාර්තාකරුවා ‘සෝවියට් ගමනින්’ පටන් ගත් වීර චාරිකාව, 20 වැනි සියවසේ ලොව පුරා සිටි දරු දැරියන් සහ යෞවන යෞවනියන් රතු මුහුදට, කළු දිවයිනට, ඇමරිකාවට , ටිබෙටය ට පමණක් නොව, හඳට ද රැගෙන ගියේ ය. ඇත්තෙන් ම ටිං ටිං හඳට ගියේ, නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන්නට පහළොස් අවුරුද්දකට කලිනි. කෙසේවෙතත් පසුගිය සෙනසුරාදා ‘ටිං ටිං - පළමු පොත් කවරය’ ඉතා ඉහළ මිලකට වෙන්දේසි වීමත් සමඟ ටිං ටිං  ගැන කතිකාව නැවත වටයකින් ආරම්භ වී ඇත. විශේෂයෙන් ම ‘හර්ජ්’ විසින් ටිං ටිං වෙනුවෙන් නිර්මාණය කළ අපූරු චරිත ගැන ය. ‘හර්ජ්’ එහි ප්‍රධාන චරිතය වන ‘ටිං ටිං’ යන නාමය සාදා ගන්නේ, ‘මාර්ටින්’ සහ ‘ඔගස්ටින්’ යන නම් වල අවසන් ශබ්ධයෙනි. එමෙන් ම ‘හර්ජ්’ කුඩා අවධියේ දී කියැවූ කාටූන් කතාවක ආ චරිතයක් ද ඊට බලපා ඇති බවක් කියැවෙන අතර එම චරිතය ‘ටින්ටින් ලුන්ටින්’ නම් විය. මේ අතර ‘ටිං ටිං’ පුවත්පත් වාර්තාකරුවෙකු බවට පත් කරන්නේ ‘හර්ජ්’ ද වෘත්තියෙන් පුවත්පත් වාර්තාකරුවෙකු වූ නිසා ය. මෙහි එන ජනප්‍රියතම දෙවන චරිතය ‘ස්නෝවි’ නම් වන කුඩා බලුපැටවා ය. ‘ස්නෝවි’ ලෙසින් එම චරිතය නම් කරන්නේ, ‘ටිං ටිං හි ඉංග්‍රීසි පිටපතේ’ ය. එහෙත් එහි මුල් පිටපතේ සිටින බලුපැටවාගේ නම ‘මිලෝ’ ය. බලුපැටවාට ඒ ‘නම’ වැටෙන්නේ,  ‘හර්ජ්’ගේ පෙම්වතියගේ නම ‘මිලෝ’ වූ බැවිනි. රම් සහ විස්කි ලෝලියෙකු වන, නිතරම විකට කතා කියන, දුම් පයිප්පය කටින් ඉවතට නොගන්නා ‘කැප්ටන් හැඩොක්’ට එම නම වැටුණු හැටි ද අපූරු ය. මෙම චරිතයට නමක් සොයමින් සිටි දවසේ ‘හර්ජ්’ සිය දිවා භෝජනය බුක්ති විඳින ගමන්, ‘මේ මාළු වර්ගය කුමක්දැ’යි ‘නිකමට මෙන්’ සිය බිරිඳගෙන් විමසා තිබේ. ‘‘මේ මාළුවට කියන්නේ හැඩොක් කියලා...’’ යැයි බිරිඳ පිළිතුරු දෙන විට ම ‘හර්ජ්’ තමන්ටම මෙසේ කියාගෙන ඇත. ‘‘ෂහ්... ඒක තමයි නම... එයාට දාමු කැප්ටන් හැඩොක් කියලා...’’ ‘තොම්සන්’ සහ ‘තොම්සන්’ යන ‘පොලිස්-රහස් පරීක්ෂක කුට්ටම’ නිර්මාණය කරන්නේ, එවකට බෙල්ජියමේ පොලීසිය සහ එහි රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුව ක්‍රියා කළ ආකාරය ‘හාස්‍යයට’ ලක්කිරීමට යි. කන් ඇසීම දුර්වල වන නමුත් දක්ෂ නිර්මාණකරුවෙකු වන මහාචාර්ය කැල්කියුලස් ‘හර්ජ්’ගේ පැරණි ගුරුවරයෙකු අනුව නිර්මාණය කළේ යැයි කියැවෙන අතර අතිශයින්ම කර්ණකටුක හඬක් හිමි ‘බියන්කා කැස්ටෆියොරේ’ නම් ඔපෙරා ගායිකාවගේ චරිතය ‘ටිං ටිං කතා මාලාවට’ ඈඳා ගැනීම සම්බන්ධයෙන් ‘හර්ජ්’ එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කියා තිබුණි. ‘‘මම මේ ලෝකෙ තියෙන ආසම නැති දේවල් වලින් ප්‍රධාන එකක් තමයි ඔපෙරා... මට පෙන්නන්න බෑ බල්ලො උඩු බුරනවා වගේ කෑගාන ඔපෙරා ගායිකාවො... ඒ හින්ද තමයි මම මේ චරිතය නිර්මාණය කළේ...’’ මෙම අපූරු චරිත සමඟ ලෝකයක් ආකර්ෂණය කළ ‘ටිං ටිං’ කතා මාලාවේ නිර්මාණකරුවා වන ‘හර්ජ්’ 1922 මැයි 22 වැනිදා බ්‍රසල්ස්වල සාමාන්‍ය පවුලක උපත ලද්දෙකි. පුවත්පත් වාර්තාකරුවෙකු මෙන් ම කාටුන් ශිල්පියෙකු ලෙස රැකියාව කළ මොහු, හාස්‍ය කතා ගෙතීමේ දක්ෂයෙකු ද විය. කෙසේවෙතත් තමන් වැඩ කළ පුවත්පතේ, ළමා අතිරේකයට කාටූන් කතාවක් ලෙස ඔහු විසින් නිර්මාණය කළ ‘ටිං ටිං කතාව’ සියවසෙන් සියවසට කතා බහට ලක්වන කතාවක් යැයි ඇතැම් විට ඔහුවත් නොසිතන්නට ඇත.  අවුරුදු 75 ක් ජීවත් වී 1983 මාර්තු පළමුවැනිදා මිය ගිය ‘හර්ජ්’ අවුරුදු ගණනාවක් තිස්සේ ‘ලියුකේමියාවෙන්’ පීඩා විඳි බව ද කියැවේ. සුරේඛා සමරසේන
 

More News..