brand logo

ට්‍රැෆික් ලයිට් ළග ඉන්න යාචකයින්ගෙන් ප්‍රවේශම් වෙන්න

14 November 2020

මාර්ගවල සිගමන් යදින පුද්ගලයන්ගෙන් මහජනතාව ප්‍රවේශම් විය යුතු බව පොලීසිය පවසයි. ඊට හේතු වී ඇත්තේ පසුගිය දිනෙක අනුරාධපුර පූජා නගරයෙන් සහ කඩුවෙල නගරයේ යාචකයින් කිහිපදෙනෙකුටම කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගයි. මේ හේතුවෙන් ඔවුන්ගේ සමීපතම යාචකයින් රැසක් නිරෝධායනයට යොමු කෙරිණි. කෙසේ වෙතත් මේ වන විට මාර්ගවල තවදුරටත් යාචකයින් සිගමන් යදින බවට අප වාර්තාකරුවන් සදහන් කරයි. යම් හෙයකින් වෛරසය ආසාදනය වූ යාචකයෙකුට මුදල් ලබාදීම හෝ ආහාර ලබාදීමේ අත ස්පර්ශවීමෙන් වෛරසය සම්ප්‍රේෂණය විය හැකියි. එමෙන්ම යාචකයෙකු වාහනවල වීදුරු සහ උපාංග ස්පර්ශ කිරීමෙන් ද කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණය විය හැකියි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවසුවේ කොළඹ ප්‍රදේශයේ ආලෝක සංඥා අසළ සිගමන් යදින පුද්ගලයින්ගෙන් ජනතාව ප්‍රවේශම් විය යුතු බවයි. යාචකයින් සමග මෝටර් රථයක් තුළ සිටින පුද්ගලයෙකු වීදුරුව පහත් කිරීම නුසුදුසු ක්‍රියාවක් බව ද ඒ මහතා සදහන් කරයි. සියලු යාචකයින් රදවා තබා ගැනීමට සුදුසු ස්ථානයක් නොමැතිවීම හේතුවෙන් ඔවුන් සිගමන් යදින ප්‍රදේශවලින් ඉවත් කිරීමේ ගැටළුවක් ඇති බව දේශබන්දු තෙන්නකොන් මහතා පෙන්වා දෙයි. ඔවුන් පොලිස් ස්ථාන තුළ රදවා තබාගත නොහැකි අතර, ඔවුන් අනිවාර්යයෙන්ම වෙනත් ස්ථානයකට රැගෙන යායුතු බව ඔහු පවසයි. කෙසේ වෙතත් එම යාචකයින් සියලුදෙනා එක ස්ථානයකට රැස්කර ඔවුන්ට ආහාර පාන ලබාදීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..