brand logo

ට්‍රම්ප් මෙලනිගෙන් වෙන් වෙන්න හදනවද ?

13 September 2020

ඇමෙරිකා එක්සත් ජනපදය හා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මාතෘකා දෙක නිතරම ලෝකයේ කතාබහට ලක් වන්නේය. ලොව කොතැනක හෝ ‘මුළුතැන්ගෙයි යුද්ධයක්’ පැවතියත් එයට හොම්බ දැමීම ඇමෙරිකාවේ ජන්ම ගතියකි. අනතුරුව එහි වළං පොඩි කර දමා එය අපායක් කර අත පිහදා ගැනීමද ප්‍රතිඵලය වේ. ලෝක පොලිස්කාරයා පාලනය කරන්නට පත්කෙරුණු ජනාධිපතිවරුන් බහුතරයකගේ න්‍යායපත්‍රවල මුලින්ම තිබුණේ ද මෙම කාර්යයි. ඉතින් වර්තමාන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් එය වෙනසක් වන්නට ඉඩක් නැත. මේ මූලික කාරණය හැරුණු විට බල්ලාගේ වලිගය කෙළින් කළත් වෙනස් කරන්නට නොහැකි තමාටම විශේෂ වූ ගතිගුණද මෙම ජනාධිපතිවරුන් සතුව තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘ස්ත්‍රී ලෝලත්වය’ ඊට උදාහරණයකි. ඇමෙරිකාවේ නිසි බලධාරියා වන්නට පෙර පටන්ම ධන කුවේරයකු වන ට්‍රම්ප්ට අත පිසදා ගැනීමට මුදල් නෝට්ටු පාවිච්චි කළ හැකි තරම් ධනයක් තිබිණි. TRUMP ORGANISATION නමැති ව්‍යාපාර ජාලය ඔහුගේ පවුලේ ව්‍යාපාරයකි. දේපොළ විකිණීමේ ව්‍යාපාර, අධ්‍යාපන ආයතන, මාධ්‍ය ආදී ව්‍යාපාර ගණනාවක් ඊට අයත්ය. 2018 ෆෝබ්ස් සඟරාවේ දත්තවලට අනුව ඔහුගේ ව්‍යාපාරික වත්කම ඩොලර් බිලියන 2.48කි. ලොව 766 වන හා එක්සත් ජනපදයේ 248 වන ධනපතියාද ට්‍රම්ප් වේ. මුදල් ඇති විට කාන්තාවන් අරුමයක්ද. අප රටේ මෙන් සාම්ප්‍රදායික බැඳීම් නොමැති ඇමෙරිකාවේ එය ඉතා පහසු කාර්යයකි. විටින් විට ඔහු හා කාන්තාවන් සම්බන්ධ ‘නිල නොවන කට කතා’ පැතිරී ගියද දැන් ඒ පිළිබඳව වැඩියෙන් කතා කෙරෙන වටපිටාවක් නිර්මාණය වී තිබේ. ඒ ට්‍රම්ප්ගේ හිටපු නීතිඥයකු වන මයිකල් කොහෙන් විසින් කරන ලද හෙළිදරව්වක් හේතුවෙනි. ​‘‘ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නීත්‍යනුකූල බිරිඳ වන මෙලනියා ට්‍රම්ප්ගෙන් ඉවත් වීම සඳහා උත්සාහ දරමින් සිටිනවා. සිය ව්‍යාපාරික කටයුතුවලින් වැඩි කොටසක වගකීම ඔහු පවරා ඇත්තේ සිය වැඩිමල් දියණිය වන ඉවන්කා ට්‍රම්ප් වෙත පවරා තිබෙනවා.’’ ‘‘DISLOYAL A MEMOIR - THE TRUE STORY OF THE FORMER PERSONAL ATTORNEY TO PRESIDENT DONALD TRUMP’’ නමැති සිය ග්‍රන්ථයේ ඔහු සඳහන් කර තිබේ. කොහෙන් වසර 10ක පමණ කාලයක් ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥයා ලෙස කටයුතු කළේය. මේ නිසා ට්‍රම්ප්ගේ බොහෝමයක් ‘රහස්’ ඔහුට රහසක් වූයේ නැත. එහෙත් ඒවා මොනයම් හෝ මාර්ගයකින් හෙළි වීම යනු කොහෙන් පිළිබඳ ‘ලොක්කාගේ’ විශ්වාසය බිඳ වැටීමකි. 2016 වසරේ දී එය සිදු විය. ස්ටෝම් ඩැනියෙල් නම් අසභ්‍ය වීඩියෝ චිත්‍රපට නිළියක හා ට්‍රම්ප් අතර සම්බන්ධතාව අනාවරණය වූයේ එම වසරේදීය. ඒ ඇමෙරිකානු ජනාධිපතිවරණයට ආසන්නයේදීමය. මේ හේතුවෙන් කොහෙන්ට නීතිඥ තනතුර අහිමිව ගොස් FBI ආයතනයේ ප්‍රශ්න කිරීම්වලට මුහුණ දෙන්නටද වසර 03ක් සිරබත් කන්නටද සිදු විය. දැන් ඔහුට නිදහස ලැබී ඇතත් කොරෝනා වසංගතය හේතුවෙන් නිවාස අඩස්සියේ ගත කරන්නට සිදු වී තිබේ. ‘‘මට ඕනෑම අවස්ථාවක ඇගෙන් ඉවත් වී අලුත් බිරිඳ විවාහ කරගත හැකියි. මෙලනියාට අවශ්‍ය නම් මගෙන් ඉවත් වූවාට වරදක් නැහැ.’’ ට්‍රම්ප් වරෙක ප්‍රකාශ කර තිබේ. මේ අනුව සියලුම ව්‍යාපාරික ගනුදෙනුවලදී මෙලනියා වෙනුවට ඉවන්කා යොදා ගැනීමට ඔහු උත්සාහ දරා තිබේ. ඒ අරමුණ පිටුපසද යම් කපටි උපක්‍රමයක් වූ බවට අදහස් කෙරේ. (ඒ බළලුන් ලවා කොස් ඇට බෑවීමේ න්‍යායයි.) ‘‘ඇය ඔවුන් වටේ එහා මෙහා යද්දී ඇගෙන් ඇස් ඉවතට ගැනීමට ඔවුනට (නිලධාරීන්ට) අසීරුයි. එක එල්ලේ තීරණ ගැනීමට ඔවුනට හැකි වන්නේ නැහැ.’’ මේ අතර මව හා දියණිය අතරද නොහොඳ නෝක්කාඩු නොරිස්සුම් මත ගැටුම් ඇරැඹී ඇති බව ධවල මන්දිරය ආශ්‍රිත පුවත්වලින් හෙළිවන කාරණයකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්ත්‍රී ආශ්‍රයන් පිළිබඳ කියැවෙන්නේ ස්ටෝර්ම් ඩැනියෙල්ස් පිළිබඳ කතාවෙන් පමණක් නොවේ. ස්ත්‍රී දූෂණයට තැත් කිරීම, ලිංගික අඩන්තේට්ටම් හා කාන්තාවන්ගේ කැමැත්තෙන් ඔවුන් සමග එක්වීම ආදී විවිධ ආකාරයේ සිදුවීම්වලින් ට්‍රම්ප්ගේ ඉතිහාසය පිරී පවතී. 1970 කාලයේ සිට අඩු තරමේ කාන්තාවන් 25 දෙනකුවත් මේ පිළිබඳව පැමිණිලි කර තිබේ. මේ අතරට ඔහුගේ හිටපු බිරියක වන ඉවානා ට්‍රම්ප්ද සිටී. 1989 දී දික්කසාද වීම සඳහා කටයුතු යොදා සිටින කාලයේ දී ඔහු තමාව දූෂණය කළ බව ඇය පවසා තිබිණි. ව්‍යාපාරික කාන්තාවක් වූ ජිල් හාර්ත් 1997 වසරේ දී ට්‍රම්ප්ට චෝදනා කළේ ඔහු බලහත්කාරකමක් නොවන ලිංගික පෙලඹවීමක් කළ බව පවසමිනි. පසුව ඇය එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තාය. මේ අතර ඇමෙරිකානු රූ රැජින තේරීමේ තරගාවල්වලදී තරගකාරියන්ගේ ඇඳුම් මාරු කරන කාමරවලට ඇතුළු වූ බවටද ඔහුට නැගුන චෝදනාවකි. ඇමෙරිකන් රූ රැජින, ඇමෙරිකානු රූප කන්‍යාව (MISS TEEN USA) තරගකාරියන් ගණනාවක්ම මේ චෝදනාව එල්ල කර තිබේ. විශ්ව රූ රැජින තරගාලියේ අනුග්‍රාහකයකු වන ට්‍රම්ප් 1997, 2000, 2001, 2006 යන වසරවලදී මේ ක්‍රියාව කළ බව තරගකාරියන් පවසා ඇත. ‘‘මෙම තරගවලදී ඔහු සතුව පවතින අයිතිය භාවිත කරමින් මෙවැනි ක්‍රියාවල යෙදුනා.’’ ඔවුහු පවසති. ලිංගික බලහත්කාරකම් සම්බන්ධයෙන් තමාට එල්ල වන චෝදනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. ‘‘මා ජනමාධ්‍යවල ගොදුරක් බවට පත් වී සිටින්නෙක්. ඔවුන් නිතරම උත්සාහ දරන්නේ මාව විවේචනය කළ හැකි වාර්තාවක් මැවීමටයි.’’ මේ අතර ඊ. ජීන් කැරොල් නමැති ලේඛිකාව ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව 2019 ජුනි මාසයේ දී චෝදනාවක් කළාය. ’’1995 හෝ 96 වසරේ දී ආයතනයක ඇඳුම් මාරු කරන කාමරයක් තුළ දී ඔහු මාව දූෂණය කරනු ලැබුවා.’’ ඇය පවසා තිබේ. මේ සිදුවීම සම්බන්ධයෙන් කීප වතාවක්ම තමන් සමග පවසා ඇති බව ඇගේ මිතුරියන් දෙදෙනකු විසින්ද තහවුරු කරනු ලැබීය. ට්‍රම්ප් එම චෝදනාව ප්‍රතික්ෂේප කළද 1987 දී ට්‍රම්ප් හා කැරොල් එකට සිටින ඡායාරූපයක් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මගින් පළ කර තිබිණි. 2019 ඔක්තෝබර් මාසයේ පළ කරන ලද ග්‍රන්ථය ඔහු සම්බන්ධ ලිංගික අපචාර චෝදනා 43ක විස්තර ඇතුළත් කරනු ලැබ ඇත. ඇතැම් මාධ්‍ය විසින් ඔහුව හඳුන්වන ලබන්නේ ‘ලිංගික විලෝපීයයා’ (SEXUAL PREDATOR) වශයෙනි. විලෝපීයයා යනු සතුන් මරා ගෙන කන සතෙකි. එමගින්ම ඔහුගේ තරම සිතාගත හැකිය. කෙසේ නමුත් ඔහු සතුව පවතින මෙම ආලවන්ත හැසිරීම කවදා කොහෙන් කෙළවර වේදැයි සිතා ගැනීම අපහසුය. අප මේ ලිපිය අවසන් කරන්නේ කාන්තාවන් සම්බන්ධයෙන් ට්‍රම්ප් විසින්ම කරන ලද ප්‍රකාශයකිනි. මෙන්න ඔවුන් සම්බන්ධයෙන් 45 වැනි ඇමෙරිකානු ජනාධිපති අතිගරු ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාගේ අදහස WITHOUT WOMEN THERE'S NOTHING ‘කාන්තාවන් නොමැති තැන කිසිවක් නැත.’ වසන්ත විජේරත්න
 

More News..