brand logo

ට්‍රම්ප්ගේ පෝස්ටුවක් නිසා ෆේස්බුක් සමාගමේ අවුලක්

03 June 2020

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පළකළ මතභේදාත්මක අදහස් පළ කිරීමක් ඇතුළත් පෝස්ටුවක් (Post) ඉවත් කිරීමට හෝ සලකුණු කිරීමට (Flag) කටයුතු නොකිරීමට එරෙහිව ෆේස්බුක් කාර්ය මණ්ඩලය අදහස් ප්‍රකාශ කර තිබේ. ඒ තම සමාගමට එරෙහිවය. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් මිනයා පොලිස්හි පැවති පුළුල් විරෝධතාවක් පිළිබඳව ජනපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයක් නැවත පළකිරීමට ඔහු සිය ෆේස්බුක් ගිණුම භාවිත කර තිබිණි. ෆේස්බුක් සමාගමේ සේවකයන් ප්‍රකාශ කරන්නේ ජනපති ට්‍රම්ප්ගේ මෙම නැවත පළ කිරීම තුළින් ‘ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයට තැබීමට’ ෆේස්බුක් සමාගම අනුග්‍රහය දක්වා ඇති බවය. එහෙත් ෆේස්බුක් සමාගම පවසා ඇත්තේ සමාගම සිය ප්‍රතිපත්ති උල්ලංඝනය කර නොමැති බවයි. අදාළ ට්විටර් පණිවුඩයෙන් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ විරෝධතා උත්සන්න වුවහොත් ඒවා මැඬපැවැත්වීමට ජාතික ආරක්ෂක බළකාය යවන බවයි. එසේම කොල්ලකෑම් ආරම්භ වුවහොත් වෙඩි තැබීම් ආරම්භ වන බවටත් ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබිණි. කෙසේ වෙතත් ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සිය සේවකයන්ගේ අප්‍රසාදය පිළිබඳව අදහස් පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත්තේ ‘අප රේඛාව අඳින්නේ කොතැනද යන්න පිළිබඳව මිනිසුන්ට එකඟ වීමට හෝ නොවීමට හැකිය. නමුත් අපගේ සමස්ත දර්ශනය ඔවුන් වටහාගනු ඇතැයි විශ්වාසය පළ කරමි’ යනුවෙන් සඳහන් කරමිනි. මේ අතර ඊයේ (02) තවත් නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම ප්‍රකාශ කර ඇත්තේ වාර්ගික අසාධාරණය අවසන් කිරීම සඳහා දර උත්සාහය වෙනුවෙන් ඩොලර් මිලියන 10ක් පරිත්‍යාග කරන බවයි. කෙසේ වුවත් එම ඩොලර් මිලියන 10ක මුදල යොමුවන්නේ කොතැනකට දැයි යන්න සමාගම පැහැදිලි කර තිබුණේ නැත. මීට සමගාමීව පසුගිය සති අන්තයේදී මෙම විරෝධතා සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් සහ මාර්ක් සකර්බර්ග් අතර විශේෂ දුරකථන සාකච්ඡාවක්ද පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නයන තරංග ගමගේ
 

More News..