brand logo

ට්‍රම්ප්ගෙන් ලංකාවට ඩොලර් මිලියන 59ක්

13 February 2020

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් සඳහා 2021 වර්ෂයේ මූල්‍ය අයවැයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 59ක් වෙන් කිරීමට යයි. මෙලෙස මුදල් වෙන් කරන්න යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය වාර්ෂික ඇස්තමේන්තු වාර්තාව ඔස්සේ ඉල්ලා ඇත. 2021 මූල්‍ය වර්ෂයේදී මෙහෙයවන ඇමෙරිකාවේ සහ ඇමෙරිකාව සම්බන්ධ වී සංවර්ධන ව්‍යාපෘති ලෙසින් වෙනත් රටවල්හි සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් එරට ජනාධිපතිවරයා විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා වාර්ෂිකව ඇස්තමේන්තුගත මුදල් ඉල්ලීම සිදුකරනු ලබයි. 2021 වර්ෂය වෙනුවෙන් ඊයේ (12 වැනිදා) දිනයේ සිදුකළ නවතම ඉල්ලීම ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කරන ලද්දේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් ස්ටීවන් බීගුන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක මාර්ක් ග්‍රීන් විසිනි. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම ඉල්ලීමට අනුව 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුවම දායත්වය සපයන ඇමෙරිකානු සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 39.2ක් වෙන්කර ඇත. තවත් ඩොලර් 9.38ක් වෙන්කර ඇත්තේ ත්‍රස්ත විරෝධී සහ ආරක්ෂක වැඩසටහන් වෙනුවෙනි. එසේම ශ්‍රී ලංකාවේ හමුදා අධ්‍යයනය සහ පුහුණුව වෙනුවෙන්ද ඩොලර් 380,000ක් ත්‍රස්ත විරෝධී ඒකාබද්ධ අරමුදල් (ශ්‍රී ලංකාවේ) සඳහා ඩොලර් මිලියන 8ක්ද වෙන්කරන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් එරට අයවැය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත. මෙලෙස ඇමෙරිකානු සහ විදෙස් රටවල ආරක්ෂක හා සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා ඉල්ලා ඇති සංවර්ධන මුදල ඩොලර් බිලියන 41කි. නයන තරංග ගමගේ
 

More News..