brand logo

ටයර් කොම්පැණියේ නමින් කසළ තේ රට යවයි

23 February 2021

    අපනයනය සඳහා ටයර් නිෂ්පාදනය කරන සමාගමක නම ව්‍යාජ ලෙස භාවිත කරමින් ඉකුත් වසරේ (2020) මාර්තු - අප්‍රේල් සිට එම වසර අවසානය දක්වා රුපියල් කෝටි 56ක් වටිනා කසළ තේ කන්ටේනර් 160ක් ඩුබායි වෙත අපනයනය කර ඇතැයි රේගුව අනාවරණය කරයි. ජාඇළ සහ ඒකල ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි මෙම ටයර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටයර් විදේශ රටවලට අපනයනය කෙරේ. ප්‍රධාන පෙළේ සමාගමක් බැවින් එහි නිෂ්පාදන අපනයනය සඳහා වරායට යවන අවස්ථාවේදී දැඩි පරීක්ෂාවකට ලක් නොකෙරන බව රේගුව කියයි. එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන කොරෝනා සමයේදී වරින්වර මෙලෙස කසළ තේ ඩුබායි බලා අපනයනය කර ඇත. එක් කන්ටේනරයක කසළ තේ මෙට්‍රික් ටොන් 18ක් ගබඩා කර ඇති අතර එක් කන්ටේනරයක අසුරන ලද කසළ තේ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 35කි. අදාළ ටයර් සමාගමේ සහ භාණ්ඩ අපනයනය කරන බවට රේගුවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනකු හඳුනාගෙන ඇති අතර රේගුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි. රේගු අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රියගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ අදාළ කසළ තේ තොගය විදෙස්ගත කර ඇත්තේ ආයෝජන මණ්ඩලය හරහා බවයි. මේ පිළිබඳව රේගුවෙන් සහ ආයෝජන මණ්ඩලයෙන් වෙනවෙනම විමර්ශන සිදු කරන බවද ඔහු කීවේය. සාලිය කුමාර ගුණසේකර
 

More News..