brand logo

ඥානසාර හිමියන්ට එරෙහිව පෙත්සම් දෙකක් සලකා බැලීම මාර්තු 02 වැනිදාට කල්යයි

05 December 2019

බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම මාර්තු මස 2 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ගොනු කර ඇත. අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු යන අය විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇත. එම පෙත්සම් අද (05) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවේය. මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන, නීතිපතිවරයා, හිටපු අධිකරණ ඇමති තලතා අතුකෝරාල, එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් නම් කර තිබුණි.
 

More News..