brand logo

ජොන්ස්ටන්ගේ නඩුවක් විභාග කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණයෙන් තහනම් නියෝගයක්

18 September 2019

වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් බැහැර කර දේශපාලන කටයුතුවල යොදවා ගැනීම මගින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කරනු ලැබුවේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපුුු වෙළඳ අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් අද (18) තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව විනිසුරුවරයා විසින් මෙම තහනම් නියෝගය නිකුත් කළ අතර පෙත්සම විභාගය සඳහා ලබන 09 වන දා කැඳවන ලෙසද නියෝග කළේය පසුගිය පාලන සමයේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ ස.තො.ස ආයතනයේ සේවය කරනු ලැබූ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම මගින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කළ සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් සඳහන් කර තිබේ. එම නඩුව අල්ලස් පනතට පටහැනි ආකාරයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති හෙයින් එය ප්‍රතික්ෂේප කොට තමන්ව නිදොස්කොට නිදහස් කරන මෙන් තම නීතිඥවරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ඉදිරිපත් කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට නඩුව ඉදිරියටත් විභාග කිරීමට මහේස්ත්‍රාත්වරිය තීන්දු කළ බව පෙත්සම්කාර ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය පෙත්සමෙන් කරුණු දක්වා තිබුණි. මහෙස්ත්‍රාත්වරියගේ එම තීන්දුව නීතියට පටහැනි බවත් එම තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කොළඹ මහාධිකරණය ඉදිරියේ ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..