brand logo

ජෙෆ්රි ඇලෝසියස්ට ඉන්දියාවට යන්න අවසර - සිංගප්පූරුවට යන්න බැහැ

05 February 2019

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට මේ මස 13 වනදා සිට 20 දක්වා කාලසීමාව තුළ ඉන්දියාවේ සංචාරය කිරීම සදහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (05) අවසර ලබාදුන්නා. සිංගප්පූරුවට යාම සඳහා පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන මෙන් ජෙෆ්රි ඇලෝසියස් මහතා කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉන්දියාවට පමණක් යාමට අධිකරණය විසින් මෙම අවසරය ලබාදී තිබෙන්නේ. අද (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ ජෙෆ්රි ඇලෝසියස් මහතා විසින් කර තිබූ ඉල්ලීම කැඳවනු ලැබුවා. එහිදී ඇලෝසියස් මහතාගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මේ මස 13 වනදා සිට ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල යාමට අවශ්‍යව ඇති බවයි. ඒ සඳහා ඔහූට දැනට පණවා තිබෙන විදේශ ගමන් තහනම අදාල කාල සීමාව සඳහා තාවකාලිකව ලිහිල් කරන මෙන් ද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ ජෙෆ්රි ඇලෝසියස් මහතා ඉන්දියාවට යාම සම්බන්ධයෙන් කරන ඉල්ලීමට විරුද්ධත්වයක් ඉදිරිපත් නොකරන බවත් කෙසේ වෙතත් සිංගප්පූරුවට යාම සඳහා කරන ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍ය බව ඒ මහතා සඳහන් කර තිබුණත් ඒ බව තහවුරු කරන ලේඛන කිසිවක් ඔහු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් එම ඉල්ලීමට විරුද්ද වන බව රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා. දැනට පණවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කිරීමට අවසර දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිංගප්පූරුවට යාමට ඉඩ දෙන මෙන් කරන ඉල්ලීම පිළිබඳව ඒ බව තහවුරු කෙරෙන වෛද්‍ය ලේඛන ලබන 25 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කර කරුණු දක්වන ලෙස ඇලෝසියස් මහතාගේ නීතිඥවරු වෙත දන්වා සිටියා. ජෙෆ්රි ඇලෝසියස් මහතා මහ බැංකු බැදුම්කර නඩුවේ සැකකරුවෙකු වන අර්ජුන ඇලෝසියස්ගේ පියායි.
 

More News..