brand logo

ජූලම්පිටියේ අමරේට මරණ දඩුවම

07 November 2019

වසර හතකට පෙර කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුනේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට වැරදි කරු වු මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (07) මරණීය දණ්ඩනය නියම කෙරුණි. මෙලෙස මරණ දඩුවම නියම වුයේ මිද්දෙණිය, ජූලම්පිටියේ පදිංචි ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නැමත්තාටය. 2012.06.15 වන දින කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩියේ අංක 26/ඒ ලිපිනයේ පදිංචි ලියනගේ රංජිත් නැමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට රාත්‍රි 7.00ට පමණ කඩා වැදී ජුලම්පිටිය අමරේ නැමැත්තා විසින් සිදු කල වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයෙකු මිය ගිය අතර තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබීය. වෙඩි වැදීමෙන් මිය ගියේ කටුවන තල්වත්තේ ගම්බාරේ ගෙදර පදිංචිව සිටි පනස් හැවිරිදි එදිරිමාන්නගේ මාලනී නමැත්තිය හා කටුවන, හැඩිවත්ත, කීරපිටිය ගෙදර පදිංචිව සිටි 18 හැවිරිදි ජයසේකර පටබැදිගේ නිමන්ත ග්‍රේෂන් නමැති දෙදෙනායි.කටුවන, හැඩිවත්ත පදිංචි 26 හැවිරිදි පලිහක්කාර නෙත්තසිංහ ලියනගේ ප්‍රදීප් සාරංග නමැත්තා වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබීය. ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ අදාල සිදුවීමෙන් පසුව පොලිසිය මගහැර සිටි අතර පසුව සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වීය. පසුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් 2012 වසරේ ජුනි මස 22 දින වලස්මුල්ල අධිකරණයේදී හදුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවතිනි. එහිදී සාක්ෂිකරුවෝ තිදෙනෙකු විසින් ජූලම්පිටිය අමරේ හදුනා ගැනීමට සමත් වූහ. අදාඒ අනුව සැකකාර ජුලම්පිටිය අමරේට එරෙහිව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මුලික නඩු විභාගයෙන් පසු නිතිපති වරයා විසින් සැකකරුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පැවරුණි.ඒ අනුව පැවති නඩු විභාගයේදී සැකකාර ජුලම්පිටිය අමරේට එරෙහිව නගා තිබු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිම හේතුවෙන් තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා සැකකරුට මරණීය දණ්ඩනය නියම කෙරුණි. ජූලම්පිටිය අමරේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට හා තංගල්ල බන්ධනාගාර කැරැල්ලටද චෝදනා ලැබ සිටි අයෙකි. වෙනත් සිදුවිමකට අදාලව ජුලම්පිටිය අමරේ 40 වසරක සිර දඩුවමක් විදින අතර සැකකාර ජුලම්පිටිය අමරේ අද (07) දිනයේද අධිකරණයට රැගෙන ආවේ බන්ධනාගාර නිළධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේය. අද (07) දිනයේ පැවති නඩු විභාගය දැක බලාගැනීම සදහා ජනතා විමුත්කි පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගප්පත්ති, කලුතර දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක්ද අධිකරණයට පැමිණ සිටියහ.සැකකාර ජුලම්පිටිය අමරේ නැමැත්තා විසින් වෙඩි තැබිම සිදුකර තිබුනේද ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ රැස්වීමකටය. සැකකරුට මරණීය දණ්ඩනය නියම කල මහාධිකරණ විනිසුරු වරයා බන්ධනාගාර අධිකාරී වරයාට නියෝග කෙරුණේ ශ්‍රි ලංකා ජනාධිපති වරයා විසින් නියම කරන ස්ථානයකදි හා වේලාවකදී සැකකරු බෙල්ලෙන් එල්ලා මරණයට පත් කරන තෙක් සැකකරු වැලිකඩ බන්ධනාගාරයේ රදවා තබන ලෙසයි. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතීඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා සමග කටුවන පොලීසියේ කොස්තාපල් (50705) ලලිත් ප්‍රේමකුමාර මහතා පෙනී සිටියහ.
 

More News..