brand logo

ජුනි පළමු සතියේ සිට රෝහල් පෙර පරිදිම

22 May 2020

රෝහල් කටයුතු ජුනි මුල් සතිය වනවිට යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත. මේ අනුව කොළඹ ජාතික රෝහලේ සායන, සැත්කම් සහ පරීක්ෂණ සියල්ල ක්‍රමයෙන් යථාවත් කරන බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක පැවසීය. සායනවල ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් තවදුරටත් සීමා කිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇතැයිද ඒ පිළිබඳව ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය. කොරෝනා රෝගීන් සැලකිය යුතු පිරිසක් ප්‍රතිකාර ලැබූ අයි.ඩී.එච්. රෝහලට සහ මුල්ලේරියාව රෝහලට තාවකාලිකව අනුයුක්ත කළ ජාතික දන්තායතනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නැවත දන්තායතනය වෙත කැඳවා ගැනීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් දන්තනාරායන සඳහන් කළේය. ඉදිරි දෙසතිය තුළ දන්තායතනයේ කටයුතු යථාවත් කිරීම මෙහි අරමුණ බවද හෙතෙම පැවැසීය.   ශ්‍රියානි විජේසිංහ
 

More News..