brand logo

ජීවිත රැසක් බේරා අවසන් ගමන් ගිය ගුවන් වීරයෝ

05 January 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත වයි. ටුවෙල් හාර්බින් (Y12 - Harbin) යානාවක් රත්මලානේ සිට සිකුරාදා (03 වැනිදා) උදෑසනම වීරවිල ගුවන් පථයට ගමන් ගත්තේ තවත් ගුවන් මෙහෙයුමකටය. බළඝන නායක බුද්ධි වීබැද්ද එහි නියමුවා විය. සහායක නියමුවා වූයේ පියාසර ලුතිනන් ලංකාපුර කුලතුංගය. ගුවන් නියමුවන් දෙදෙනාගේ සහායට ගුවන් හමුදා බුද්ධි අංශයේ සැරයන්වරුන් වන ආර්. ඩබ්ලිව්. කුමාර හා ඒ. සී. හෙට්ටිආරච්චි යානයට නැග ගත්තේ වීරවිල ගුවන් පථයෙනි. දෛනිකව සිදුකරන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමේ තවත් එක් මෙහෙයුමකට යාමට මොවුන්ගේ මේ සූදානමය. ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය කොටස්වලට බෙදා ගුවනින් අවේක්ෂණ රාජකාරී කරමින් ඔත්තු බැලීම මොවුන්ට පැවරුණ රාජකාරියයි. ගුවනේ බෙදූ කලාප අතරින් අහඹු ලෙස තෝරාගත් ප්‍රදේශවල සැරිසරා තොරතුරු රැස් කිරීම මොවුන්ට පැවරෙන වගකීමය. වීරවිල ගුවන් පථයෙන් තම යානය ඉහළට එසවූ බළඝන නායක බුද්ධි වී බැද්ද හා සහායක නියමුවා මෙදින (03 වැනිදා) පිටත් වූයේ පිදුරුතලාගල සිට බණ්ඩාරවෙල, බදුල්ල, පානම ප්‍රදේශවල ගුවනේ සිට ඔත්තු බැලීමේ කාර්යයටය. ගුවනින් ගොස් ගංජා හේන්, පස් කපන ජාවාරම්, කැලෑ කපන ජාවාරම්වල තොරතුරු සොයා බලා ගුවන් හමුදා මූලස්ථානයට තොරතුරු වාර්තා කිරීම මෙම මෙහෙයුමේ වගකීමය. රටපුරා කැලෑ මැද ඇති ගංජා හේන්වටලන්නට පොලිස් විශේෂ කාර්ය බළකායට බුද්ධි තොරතුරු දෙන්නේත්, ගුවනින් ආවේක්ෂණ රාජකාරී කර ලබා ගන්නා තොරතුරුවලිනි. ඇතැම් දිනවල පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන්ද වීරවිල සිට ගුවනින් කරන මෙවැනි බුද්ධි මෙහෙයුම්වලට එක්වේ. ගුවනට නැගුන මොහොතේ පටන් ගුවන් හමුදා බුද්ධි අංශයේ සැරයන්වරුන් දෙදෙනා සමග අඩි දෙදහසේ සිට හාරදහස දක්වා උසකින් ගුවනේ සැරිසරමින් තොරතුරු සොයා යන්නට ගුවන් නියමුවෝ යානාව පැදවූහ. නුවරඑළිය බලා ගොස් එතැන් සිට පහළට ගමන් කරමින් වීරවිල දක්වා යාමට ගුවන් නියමුවා සහ සාහයක නියමුවා සූදානම්ව සිටියහ. මෙම ගුවන් යානය ඒ වන විටත් මත්තල ගුවන්තොටුපොළේ ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය සමග සබඳතා පවත්වමින් ගුවන් මෙහෙයුමේ නිරත වූහ. මෙම ගුවන් මෙහෙයුම්වලදී සම්බන්ධතා පවත්වන්නේ මත්තල ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය සමගය. රේඩාරයේ මේ මොහොතේ සිටි නිලධාරියා වූයේ හර්ෂය. ඔහු සමග බළඝන නායක බුද්ධි වී බැද්ද සම්බන්ධ වෙමින් තම යානය ඉහළට ගන්නට අවසර ඉල්ලුවේය. ‘‘අපි යානය අඩි 8500ට ඉහළට ගන්නවා’’ බළඝන නායක බුද්ධි වීබැද්ද අවසන් වරට මත්තල රේඩාරයේ සිටි නිලධාරියාට දුන් පණිවුඩය විය. ඉන් මිනිත්තු අටක් යන්නටත් මත්තෙන් ගුවන් යානයක් කඩාවැටුණු බව ගුවන් හමුදා මූලස්ථානයට පණිවුඩ ගලා ආවේය. රටේ ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි මෙහෙවරකට ගිය දක්ෂ නියමුවන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු ජීවිතවලින් සමු දෙන්නේ අළු වී ගිය ගුවන් යානයක් සමගිනි. මේ වන විට වේලාව උදේ 9.00 ට පමණය. අනතුර සැලවූ සැණින් විනාඩි දහයක් යන්නටත් මත්තෙන් දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ගුවන් කොමදෝරු වරුණ ගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් එහි පැමිණ අනතුරට ලක්ව ගිනිගනිමින් තිබූ යානයේ ගින්න නිවා දමන්නට ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව කටයුතු කළහ. ජනාකීර්ණ වූ හපුතලේ, අයිසිපීල්ල ප්‍රදේශයේ බෑවුම් ප්‍රදේශයකට යානාව කඩාගෙන වැටී තිබුණි. යානය අවසන්වරට ගමන් ගන්නා අයුරු ඒ අසල හෝටලයක සීසීටීවී දර්ශනවලද සටහන්ව තිබුණේය. අනතුරක සේයාවක් ගැන නියමුවා පාලක මැදිරියට දන්වා නොතිබුණෙන් අනතුරට හේතුව විමර්ශන අවසන්වනතුරු දැනගත නොහැකි විය. යාන්ත්‍රික දෝෂයක් හෝ නියමුවා අතින් වූ දෝෂයක් නිසා මෙම අනතුර සිදු වූවා දැයි තහවුරු වන්නේ විමර්ශනවලිනි. එම විමර්ශන සඳහා ගුවන් හමුදා මූලස්ථානයෙන් මූලික පරීක්ෂණයක් කිරීමට ගුවන් මගින් නිලධාරි කණ්ඩායමක් පිටත් කර යවා තිබිණි. මෙම යානයේ ගුවන් නියමුවා වූ බලගන නායක බුද්ධි වීබැද්ද 2005 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වී වන්නි මානුෂීය මෙහෙයුමේදී වයි ටුවෙල් ඇතුළු සැපයුම් ගුවන් යානාවලින් යුද බිමට සෙබළුන් හා අත්‍යවශය දෑ රැගෙන යන්නට දයාක වූ අත්දැකීම් පරිපූර්ණ ගුවන් නියමුවෙකි. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ නම ඉතිහාසයට ගෙනගිය නියමුවකු වූ ඔහු ගුවන් පැය තුන්දහසක ගුවන් කාලයක් ගුවනේ සැරිසැරූ අත්දැකීම් බහුල නියමුවෙක්ද විය. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවකු වූ සහායක නියමු පියාසර ලුතිනන් ලංකාපුරත් පාඨමාලා අංක තිහ යටතේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද ගුවන් නියමුවෙකි. මෙම නියමුවන්ගේ දක්ෂතාව නිසා යානය තම පාලනයෙන් නික්ම යද්දී අනතුරින් සිදුවන්නට ගිය විශාල ජීවිත හානියක් වළක්වාගෙන තම ජීවිතවලින් පමණක් වන්දි ගෙවූ බව දැනට කෙරෙන විමර්ශනවලින් පැහැදිලි වන්නේය. උඩ ඉඳන් පහළට යානය ගිලිහී යද්දී ෆයිලට් ජනාකීර්ණ ප්‍රදේශයක් වූ හපුතලේ ගෙවල් ඔක්කෝම බේරෙන විදිහට අන්තිම මොහොතේත් පියවර ගෙන තිබෙනවා. ගෙදරක වීදුරු කීපයක් කැඩීයාම හැර ජනාකීර්ණ ප්‍රදේශයේ ජනතාවට කිසිදු හානියක් නොවන්නට නියමුවන් වගබලා ගත්තා.’’ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කීය. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ වයිටුවෙල් යානයක් ගුවන් අනතුරකට ලක් වූ පළමු අවස්ථාව මෙයද විය. මීට පෙර 1990 දී මෙහෙයුම් කලාපවලදී ගුවන් නියමුවන් සමග යානාවක් අතුරුදන් වුවද, එය මුහුදට වැටුණු බව කියවුණත් සොයාගත නොහැකි විය. මෙවැනි අනතුරක් වූ පළමු අවස්ථාව මෙයය. කෙසේ නමුදු පෙරේදා පුවත්පත මුද්‍රණයට යන විටත් අනතුරට හේතුව අනාවරණය වී නොතිබුණි. එය හෙළිවනු ඇත්තේ පරීක්ෂණවලින් පසුවය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා ඡායාරූප- විපුල සමරකෝන්
 

More News..