brand logo

ජිම් ගියේ හිත හදාගන්න - මේධා ජයරත්න

22 June 2020

මේධා ජයරත්න මෑත කාලයේ බෙහෙවින් සමාජ අවධානය දිනාගත් චරිතයක්. මෙලෙසින් මේධා වෙත අවධානයක් යොමුවෙන්නට හේතුව ඇය කලාකාරිනියක් වීම හෝ විවාහ දිවියට සමුදීම නොවේ. ඒයට හේතුව ඇගේ නූතන පෙනුමයි. අපේ බොහෝ කාන්තාවන් ජීවිතයේ හතරවන දශකයේදී බිරින්දෑවරු ලෙස හෝ අම්මාවරු ලෙස තමන් හැර දමන යුගයක මේධා හතරවන දශකයේදී තමන්ව වඩාත් හොඳින් රැක බලාගැනීමයි. මේ දවස්වල වේගයෙන් ජනප්‍රියත්වය ඉහළ යමින් පවතිනව නේද? ඔබ පවසන කාරණයේ ඇත්තක් නැත්තෙ නැහැ. මේ කාලය පුරාම ෆොටෝ ෂූට්වලට, මනාලියන් දැක්මවලට විතරක් නෙවෙයි, මම හිතපු නැති ක්ෂේත්‍රවලිනුත් ඇරයුම් ලැබුණා. මොකක්ද නොහිතපු විදිහේ අලුත් ම ඇරයුම? විලාසිතා දැක්මවල නිරූපිකාවක් ලෙස කටයුතු කරන්න. ඒ කියන්නෙ රෑම්ප් මොඩ්ල් කෙනෙක් විදිහට වැඩ කරන්න ඒ දේවල්වලට යන්න නම් කැමැත්තක් නැහැ ඒව තියෙන්නෙ පොඩි වයස්වල ළමයින්ටනේ. මේ තරම් ඇරයුම් ලැබෙන්න බලපාන විශේෂ කාරණය ගැන දැන් කතා කරමු? ඒ මම ජිම් එකට ගිහින් ශරිරයේ හැඩය හොඳින් සකස් කරගෙන ඉන්න නිසා වෙන්නැති කියල මම හිතනව. ලංකාවෙ තමයි කාන්තාවන් තරුණ වයස ඉක්මවා යද්දි ශරිරය ගැන තියෙන උන්නදුවන් අතැර දමන්නේ. ඒ පැත්තෙන් බටහිර රටවල්වලට නම් අපිට ළං වෙන්නවත් බැහැ. අපේ අසල්වැසි ඉන්දියාවෙම ​ෙඑශ්චර්යා රායි වැනි කාන්තාවන් කොච්චර ලස්සනට ඉන්නවද? මම හිතනව ඇයි අපිට එහෙම ඉන්න බැරි කියල. මේධා හිතන විදිහට ඇයි අපේ රටේ කාන්තාවන්ට එහෙම ඉන්න බැරි? සාමාන්‍ය කාන්තාවන්ට බාධක වැඩියි. බැන්දට පස්සෙ සැමියගේ විතරක් නෙවෙයි ඔහුගේ අම්ම, තාත්තා, නංගිල, අක්කල ඔය ඔක්කොටම ගැළපෙන්න ඉන්න වෙනවනෙ. ගොඩක් අය විවාහ වෙලා දරුවො ලැබෙත්දි තමන් ගැන හිතන එක අත හරිනව. අපේ කාලෙ ඉවරයි කියල හිතනව. එතැනිනන් එහාට තමන්ගෙ පෙනුම හැඩය ලස්සන නිරෝගි බව ගැන හිතන්නෙ නැහැ. විවාහක කාන්තාවකට තමන්ගේ පෙනුම වෙනුවෙන් කාලය මුදල් වෙන් කළ හැකි සීමාවක් නැහැ කියලද ඔබ පවසන්නෙ? ඔව් ගෙවල්වලිනුත් ප්‍රශ්න තියෙනව තමයි ඔය තරම් ලස්සන වෙන්නෙ කාට පේන්නද? ඕවට ඔච්චර වියදම් කරන්නෙ ඇයි? ගෙදර වැඩ පාඩු වෙනව නේද? වගේ ප්‍රශ්න ඇතිවෙනව. උදාහරණයක් විදිහට මමත් බිරිඳක්ව සිටි කාලයේ එවැනි ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනව. දැන් අම්මලනේ මොනවටද ඕව කරන්නෙ කාට පේන්නද ඔහොම අඳින්නෙ කියල මගෙන් විමසල තියෙනව. හැබැයි ඇත්ත ඒක නෙවෙයි දරුවො කැමැතියි තමන්ගෙ අම්මල ලස්සනට ඉන්නවට. මගේ පුතාත් මම ලස්සනට ඉන්නව දකින්න කැමැතියි. හැඩවැඩ වෙලා ලස්සන ඉන්න අයට සමාජයේ ආදරය වගේම අපහාසත් එල්ල වෙනව නේද? ඒ තමන්ගේ ජීවිතයේ කරන්න ආස දේවල් නොකර විඳව විඳව ඉන්න අය තමයි සමාජ මාධ්‍යවලින් ලස්සනට ඉන්න කෙනෙක් දැක්කම පහර ගහන්නෙ පද හද හදා කතන්දර හද හදා ඉන්නෙ එයාලට එහෙම වෙන්න බැරි නිසයි. මේ විදිහට සිරුරේ පෙනුම හදාගන්න ලොකු කැපකිරීමක් කරන්න වුණාද? අවංකවම දෙයක් කියන්නම්. මම ඇත්තටම ජිම් එකට යන්න පටන් ගත්තෙ මගේ ඇඟ හදාගන්නවට වැඩිය මගේ ඔළුව හදාගන්න. හේතුව පහුගිය කාලයේ මගේ දික්සාදයත් එක්ක මට මගේ දරුවන්ගෙන් දුරස් වෙන්න සිද්ධ වුණා. දරුවන්ගෙන් ඈත්වෙලා ඉන්න ඒක ලේසි නැහැ. මම යන හැම තැනකම දරුවන් එක්ක ගිය කෙනෙක්. ෂුටිං ගියත් මම දරුවො අරගෙන ගියෙ. දුව හම්බවෙලත් අවුරුදු පහමාරක් විතර මම කලා කටයුතු කළේම නැහැ. ඒ තරමට දරුවො එක්ක සමීපව ඉඳල මේ දුරස්වීම දරාගන්න මට හරි අමාරු වුණා. ඇඟ හදාගන්නවට වඩා හිත හදාගන්නයි මම ජිම් ගියේ. රසික ප්‍රතිචාර කොහොමද? මට හිටපු එක රසිකයෙක් වත් අඩු වුණේ නැහැ. ඉස්සර වගේ නෙවෙයිනෙ සමාජ මාධ්‍ය මගින් අපිට අපේ රසිකයන් එකක් කෙළින්ම කතා කරන්න පුළුවන්නේ. සමහරු මං ගැන වැරදි දේවල් පෞද්ගලිකව පවා රසික රසිකාවියන්ට කියල තිබුණා. ඒත් ඔවුන්ගෙ ආදරේ දශමයක්වත් අඩු වුණේ නැහැ. ගතවෙන ජීවිතේ නිදහස වැඩියිද? මේච්ර කාලයක් මට ආස දේවල් මට කරන්න ලැබුණෙ නැහැනෙ. දැන් මම මට ආස විදිහට ඉන්නව. එහෙම කියල මම නරක දේවල් කරන්නෙ නැහැ. මගේ පවුල වැදගත් පවුලක්. මගේ තාත්ත විදුහල්පතිවරයෙක්. අම්මා ගුරුවරියක්. නංගි ගුරුවරියක්. අපේ පවුලේ හැමෝම උපාධිධාරීන්. මම නිදහසේ තනියෙන් හිටිය කියල මම වැරදි දෙයක් කරන්නෙ නැහැ. පවුලේ ආදරය වඩා වෙනස් ආදරයක් අත්විඳිමින්ද ඉන්නෙ? ආදරයක් ඕන. එහෙම නැතිව ජීවත් වෙන්න බැහැනෙ. සාමාන්‍යයෙන් තනියම ජීවිතයේ හැම දෙයක්ම කරගෙන ජීවත් වෙන කාන්තාවො ඉන්නවනේ. මම එහෙම කෙනෙක් නෙවෙයි. මම ගහක් නෙවෙයි. වචනයේ පිරිසමාප්ත අර්ථයෙන්ම මම වැලක්. තනියම ජීවිතේ මට හරි අමාරුයි. ළඟදීම යළි විවාහ දිවියකට එක් වෙන්නද බලාපොරොත්තුව? එහෙම අදහසක් නැහැ. ඇත්තම කියනව නම් එන දේකට එන විදිහට මුහුණ දීලා ජීවත් වෙනව. මම ජිවිතේ කිසි දෙයක් ලොකුවට හිතන කෙනෙක් නෙවෙයි. පහුගිය කාලයේ මගේ ගෙදරට හොරු පැනල සල්ලියි, මගේ රත්‍රන් බඩුයි අරන් ගියා. ඒ වෙලාවේ අපේ පවුලේ අය දුක්වුණා. ඒත් මම ඒ දිහා උපේක්ෂාවෙන් බලා හිටියා. මම ලොකුවට කම්පා වෙන කෙනෙක් නෙවෙයි. ධම්මිකා සුරංජි පතිරණ ඡායාරූප - උදාන් කුමාර
 

More News..