brand logo

ජිනීවා කවුන්සිලයේදී පලස්තීනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හඬ නගයි

24 June 2020

පලස්තීනයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මැදිහත්වීම පිළිබඳ ශ්‍රී ලංකා රජය කනස්සල්ල පළ කර ඇති අතර බටහිර ඉවුරේ කඳවුරු ඉදි කිරීම නවත්වන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත. ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී නිකුත් කළ නිවේදනයක් ඔස්සේ මෙලෙස ශ්‍රී ලංකාව පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිට තිබේ. අදාළ නිවේදනයෙන් ශ්‍රී ලංකාව අවධාරණය කර ඇත්තේ පලස්තීන ජනතාවට රාජ්‍යත්වයට සහ ඔවුන්ගේ භූමියේ ඇති ස්වාභාවික සම්පත්වලට ඇති නීත්‍යනුකූල හා නොවැළැක්විය හැකි අයිතියක් පවතින බවයි. ඊශ්‍රායලය විසින් 1967 සිට පලස්තීන දේශ සීමාවේ වාඩිලාගෙන සිටින අතර මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මැදපෙරදිග සාම ක්‍රියාකරු විසින් නැවත නැවත ප්‍රතිරාව කර ඇති බවත් ශ්‍රී ලංකාවද ඊශ්‍රායලයේ එම මැදිහත්වීමට විරෝධය පළ කරන බවත් අදාළ නිවේදයේ වැඩිදුරටත් දැක්වේ. ඊශ්‍රායලයේ මෙම ක්‍රියාකාරකම් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති හා මහා මණ්ඩලයේ යෝජනා ඇතුළු අන්තර්ජාතික නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකාව නිරායුධ පලස්තීන සිවිල් වැසියන්ට එරෙහි ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග හේතුවෙන් කලාපයේ තිරසාර සාමයක් සාක්ෂාත් කර ගැනීම දුෂ්කරවී ඇති බවත් පෙන්වා දී ඇත. නයන තරංග ගමගේ
 

More News..