brand logo

ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් සටන අද

27 November 2020

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැත්වෙන තරගය අද (27 වැනිදා) රාත්‍රි 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ නායකයා වශයෙන් තිසර පෙරේරා කටයුතු කරන අතරවාරයේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නායකයා වශයෙන් භානුක රාජපක්ෂ කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ හිටපු නායක තිසර පෙරේරා හැරුණු විට වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සාමාජිකයන් වන සුරංග ලක්මාල්, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග ජැෆ්නා ස්ටැලියන්ස් පිලට ඇතුළත්ව සිටී. විදෙස් ක්‍රීඩකයන් අතරින් අත්දැකීම් බහුල ශොයිබ් මලික් මෙන්ම ජොන්සන් චාල්ස්, කයිල් ඇබට් ඇතුළු විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙක් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට ඇතුළත්ව සිටී. ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නිත්‍ය නායක ශහීඩ් අෆ්රිඩිට ලබන 30 වැනිදා දක්වා නිරෝධායනය වීමට සිදුව ඇති බැවින් නායකත්වයේ වගකීම භානුක රාජපක්ෂට හිමි විය. ලසිත් මාලිංග එල්.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීම ගෝල් කණ්ඩායමට විශාල පාඩුවක් වී තිබේ. ඒ හේතුවෙන් වමතින් වේග පන්දු යවන මොහොමඩ් අමීර්ට ගෝල් පිලේ පන්දු යැවීමේ වැඩි වගකීමක් පැවරෙනු ඇත. භානුකගේ සහයට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, ලක්ෂාන් සඳකැන් සහ ශෙහාන් ජයසූරිය ක්‍රීඩා කිරීමට නියමිතය. ගෝල් පිලට ඇතුළත් සෙසු විදෙස් ක්‍රීඩකයන් අතුරින් වකාස් මක්සූඩ්, හස්රතුල්ලා සසායි සහ චැඩ්වික් වොල්ටන් කැපී පෙනෙයි.
 

More News..