brand logo

ජැක්ලින් අත්අඩංගුවට ?

02 November 2022

ඉන්දීය රුපියල් කෝටි 200 ක කප්පම් සිද්ධියක චුදිතයකු බවට පත්ව සිටින ශ්‍රී ලාංකික නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් අත්අඩංගුවට පත් වෙයිද? මෙය මේ දිනවල බොලිවුඩයේ කාගේත් අවධානය යොමු වී ඇති උණුසුම් ප්‍රශ්නයක් වී තිබේ. මේ වනවිට ඇය සිටින්නේ අතුරු ඇපයක් (Interim Bail) මතය. ඉහත කී කප්පම් සිද්ධියට අදාළව ඉන්දියාවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයක් විසින් ජැක්ලින් චුදිතයකු ලෙස නම් කරනු ලැබ තිබේ. මේ සම්බන්ධ චෝදනා පත්‍රයක් එම ඒකකය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර ඊට අදාළව අධිකරණය පසුගිය සැප්තැම්බර් 26 වැනි දින ජැක්ලින් එය හමුවට කැඳවා තිබිණි. එදින ඇය එහි පැමිණ තිබුණේ නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන බවක්ද සඳහන් විය. ජැක්ලින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා අපේක්‍ෂිත ඇපයක් ලබා ගැනීමට එහිදී ඇයගේ නීතිඥයන් අයැදුම්පතක් ඉදිරිපත් කර තිබිණි. මෙම ඇප අයැදුම්පත සම්බන්ධයෙන් සලකා බලන තුරු ඇයට තාවකාලික අතුරු ඇපයක් ලබා දීමට එහිදී අධිකරණය තීරණය කළේය. ඒ ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයකට යටත්වයි. ජැක්ලින්ට පූර්ණ ඇප ලබා දීම සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය දක්වන මෙන් අධිකරණය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන Enforcement Directorate නමැති අපරාධ විමර්ශන ඒකකයට දැනුම් දීමක් කළ බවද සඳහන් විය. අදාළ පාර්ශ්ව නැවතත් ඔක්තෝබර් 22 වැනි දින අධිකරණය හමුවට කැඳවීමටද එදින තීරණය කෙරිණි. මේ අනුව පසුගිය 22 වැනි දින අධිකරණය රැස්වූ අවස්ථාවේ ජැක්ලින්ගේ නීතිඥයන් පවසා තිබුණේ ජැක්ලින්ට එරෙහිව ඉහත කී මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සකස් කළ චෝදනා පත්‍රයේ පිටපතක් තවමත් තමුන්ට ලැබී නැති බවයි. එවැනි පිටපතක් ලබා දෙන බව එම ඒකකය කලින් අවස්ථාවේ අධිකරණය හමුවේ ප්‍රකාශ කළත් එය මෙතෙක් තමුන්ට ලැබී නැති බව ජැක්ලීන්ගේ නීතිඥයන් ප්‍රකාශ කළ බැව් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ ගැන සලකා බැලූ අධිකරණය ජැක්ලින්ට ලබාදී තිබූ අතුරු ඇපය නොවැම්බර් 10 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අතර අධිකරණය Enforcement Directorate ඒකකයට පවසා තිබුණේ අදාළ ලියකියවිලි සියල්ල සියලුම චුදිතයන්ට ලබා දෙන ලෙසයි. මේ ගැන විභාග කිරීමට අධිකරණය නැවත රැස් වන්නේ නොවැම්බර් 10 වැනිදායි. ඉහත කී කප්පම් සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ සුකේශ් චන්ද්‍රසේකර් නමැති ධනවත් කප්පම්කාරයෙකි. මේ වනවිට ඔහු සිටින්නේ බන්ධනාගාරයේයි. ජැක්ලින් මෙම සිද්ධියට පැටලුණේ ඇය චන්ද්‍රසේකර් සමග පැවැත්වූ සමීප සම්බන්ධය නිසාය. කප්පම් මුදල්වලින් ඔහු ජැක්ලින්ට ඉතා වටිනා තෑගි ලබාදී ඇති බවට චෝදනා නැගිණි. එමෙන්ම ජැක්ලින් එම තෑගි ලබාගෙන ඇත්තේ චන්ද්‍රසේකර්ගේ අපරාධ ඉතිහාසය ගැන දැනුම්වත්ව සිටියදී යැයිද මූල්‍ය අපරාධ විමර්ශණ ඒකකය චෝදනා කළේය. ඇය මෙහි චුදිතයකු බවට පත්වූයේ ඒ අනුවයි. Enforcement Directorate ඒකකය පසුගියදා අධිකරණය හමුවේ පවසා තිබූ තවත් කතාවකින් පැවසෙන්නේ ජැක්ලින් මෙම විමර්ශනවලට සහාය නොදක්වන බවයි. විමර්ශන සිදුවෙමින් තිබියදී ඇය ඉන්දියාවෙන් පැන යාමට උත්සාහ කර ඇති බවක්ද ඔවුන් පවසා තිබේ. නමුත් ඉන්දියාවෙන් පිටවීමට අවසර නැති පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ඇයගේ නම සඳහන්ව ඇති නිසා ඇයට ඊට අවස්ථාවක් නොලැබුණු බවද එම ඒකකය පවසා තිබිණි. මේ අතර ඇය සාක්‍ෂි විනාශ කිරීමට උත්සාහ කර ඇති බවටත්, ඇයගේ ජංගම දුරකතනයේ දත්ත මකා දමා ඇති බවටත් ඔවුන් තවදුරටත් චෝදනා කර ඇත. සහන් වික්‍රමගේ No photo description available. May be an image of 1 person, standing and activewearMay be an image of one or more people, people standing and outdoorsMay be an image of one or more people and flowerMay be an image of 1 person and indoor
 

More News..