brand logo

ජාතික හැදුනුම්පතේ තොරතුරු ඔන්ලයින් ඔස්සේ තහවුරු කිරීමේ වැඩපිළිවෙලක්

05 March 2021

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම්පත් තොරතුරු මාර්ගගතව (Online) තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අරම්භ කර තිබේ. මෙරට පිහිටි රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, බැංකු හා මූල්‍ය ආයතන, දුරකථන සේවා සපයන ආයතන, රක්ෂණ සමාගම් යනාදී ආයතනවල සේවා අවශ්‍යතාවයන් ඉටු කරගැනීමේ දී එම ආයතනවල සේවාලාභීන්ගේ කැමැත්ත මත ජාතික හැඳුනුම්පත් තොරතුරු මාර්ගගතව සහතික කිරීම සඳහා මෙම වැඩපිළිවෙල මගින් අවස්ථාව සැලසෙනු ඇත. ඒ අනුව මේ වන විටත්, මෙම වැඩපිළිවෙල යටතේ පුද්ගල දත්ත මාර්ගගතව තහවුරු කර ගැනීමේ සේවාව ලබා ගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව (කොටස් වෙළදපල), ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩයලොග් මූල්‍ය ආයතනය, සම්පත් බැංකුව, ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්ඩියා (State Bank of India), HSBC බැංකුව යන ආයතන සමග ගිවිසුම් ගත වී ඇති අතර, ඉදිරියේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, වරාය අධිකාරිය, ජාතික ලොතරැයි මණ්ඩලය, මහජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සණස සංවර්ධන බැංකුව, වැලිබල් ෆිනෑන්ස්, යනාදි ආයතන ඇතුළු තවත් ආයතන රැසක් සමග ගිවිසුම් ගත වීමට නියමිතයි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතනයේ (ICTA) තාක්ෂණික දායකත්වයත් සමග සිදු කරන මෙම වැඩපිළිවෙළ ඔස්සේ පුද්ගල දත්ත ද්විත්ව වීම (Data Duplication) වළක්වා ගැනීමට මෙන්ම වංචනික ක්‍රියා වළක්වා ගැනීමට ද හැකියාව ලැබී ඇත. ඒ අනුව නව තාක්ෂණය සමග මුසු වූ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලිය තුළ පුද්ගල අනන්‍යතාවය වඩාත් නිවැරදිව හා විශ්වාසනීයව තහවුරු කරමින්, විධිමත් හා කාර්යක්ෂම මහජන සේවාවන් සැපයීම සදහා ඉහත සියලුම ආයතනයන්ට අවශ්‍ය සහාය ලබාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
 

More News..