brand logo

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනිය බලශක්තියේ දායකත්වය 500% කින් වැඩි කරනවා

10 June 2019

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 500%කින් වැඩිකරන බව විදුලිබල බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. එමෙන්ම පුනර්ජනනීය බලශක්ති දායකත්වයෙන් තවත් වසර 2කින් මෙගාවොට් 2000ක් දක්වා වැඩි කරන බවද අමාත්‍යවරයා අද පෙරවරුවේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත පැවසුවේය. "අද වනවිට නොයෙක් කතා ඇති කරලා තිබෙනවා පුනර්ජනනීය බලශක්ති විදුලි උත්පාදනය ලංකා විදුලිබල මණ්ඩලය විසින් අඩු කරන්න යනවා කියලා. නමුත් අපි උත්සාහ කරන්නේ පුනර්ජනනිය බලශක්තියේ දායකත්වය 500% කින් වැඩි කරන්නයි. පාරිභෝගිකයාත් ලංකා විදුලිබල මණ්ඩලයත් දෙපාර්ශවයම ආරක්ෂා වනපරිදි තමයි අපි කටයුතු කරන්නේ. මුදල් ඇමති වශයෙන් සිටිය වකවානුවේ මමයි මේ සුර්යබල සංග්‍රාමය වැඩසටහන ආරම්භ කළේ. මෙතෙක් දුර ක්‍රියාත්මක වූ ආකාරයට ලංකා විදුලිබල මණ්ඩලයට විශාල හානියක් ඇතිවී තිබෙන නිසා අළුත් ප්‍රතිපත්තියක් ගෙන එනවා. නමුත් මෙතෙක් ඇතිකරගත් සියලු ගිවිසුම් ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනවා. ලංකා විදුලිබල මණ්ඩලය රු. 28.00 – 30.00 ඩීසල් වලින් එක් විදුලි ඒකකයක් නිපදවලා, ඒ විදුලි ඒකකය පාරිභෝගිකයාට රු.16.00 ක් වැනි මුදලකට ලබාදීමෙන් ඇති වන ගැටලුව විසදා ගැනීමේ නිවැරදි ක්‍රමවේදයකට අවතීර්ණ වෙන්න තමයි අපි මේ උත්සාහ දරන්නේ. විදුලිබල මණ්ඩලය ආරක්ෂා වන ආකාරයේ නිවැරදි මාර්ගයකට අවතීර්ණ වනවිට, ඒකටත් වැරදි අර්ථකතන සපයන පිරිසක් සිටිනවා. නමුත් අපි හැකි සෑම උත්සාහයක්ම දරලා මෙම කටයුත්ත ඉදිරියට කරගෙන යනවා. අද වනවිට මෙගාවොට් 450 – 500 ක් තිබෙන පුනර්ජනනීය බලශක්ති දායකත්වය, තවත් වසර 2 කින් මෙගාවොට් 2000 ක් දක්වා වැඩිකරනවා. මෙම අභියෝගාත්මක කටයුත්තට කැමති ඕනම කෙනෙක්ට අපි සමග එකතු වෙන්න පුළුවන්. වැරදි මත නිවැරදි කරන එක තමයි අපි මේ කරගෙන යන්නේ" යැයි රවී කරුණානායක අමාත්‍යවරයා අවධාරණය කරයි.
 

More News..