brand logo

ජාතික රෝහලේ වෛද්‍ය හිඟයක්

18 September 2020

කොළඹ ජාතික රෝහලේ අලුතින් ස්ථාපිත කළ විකලාංග ප්‍රතිකාර ඒකකය, බඩවැල් හා ආමාශ පිළිබඳ ශල්‍ය ඒකකය, වකුගඩු ඒකකය, ස්නායු ප්‍රතිකාර ඒකකය හා මානසික රෝග ප්‍රතිකාර ඒකකය ඇතුළු ඒකක ගණනාවක්ම පවත්වාගෙන යාමට ​නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ජාතික රෝහලේ ආරංචි මාර්ග පවසයි. කොළඹ ජාතික රෝහලේ සේවය කළ වෛද්‍යවරුන්ගෙන් 500ක් පමණ දෙනා ස්ථානමාරු ලබා වෙනත් රෝහල් වෙත යාමට පටන් ගෙන තිබීමෙන් ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යාමට නොහැකිව මෙම තත්ත්වය උදා වී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී. මේ හේතුවෙන් මෙම ඒකකයන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීහු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. සාමාන්‍යයෙන් වසර හතරකට වරක් ක්‍රියාත්මක ස්ථානමාරු වැඩපිළිවෙළ වසර දහයකින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක්ද ස්ථානමාරු අපේක්ෂාවෙන් පසුවෙති. මෙම ස්ථාන මාරු හේතුවෙන් ලබන වසර 2021 මුල පමණ වනතෙක් ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩුව පුරවා ගැනීම නොහැකි වන තත්ත්වයක්ද උදාවී ඇත. අපි මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සේවා වෛද්‍ය සුනිල් ද සිල්වා මහතාගෙන් විමසූ කල ඔහු සඳහන් කලේ ස්ථාන මාරු ලැබූ වෛද්‍යවරුන් රෝහලෙන් ඉවත් වුවද එම පුරප්පාඩු සඳහා වෙනත් වෛද්‍යවරුන් අනුයුක්ත කරන නමුත් ඒ සඳහා කිසියම් කාලයක් ගත වන බවය. තවද ඇතැම් ප්‍රතිකාර ඒකක සඳහා විශේෂ පුහුණුවීමක් අවශ්‍ය වන අතර අලුතින් එම ඒකක වෙත අනුයුක්ත කරන ලබන වෛද්‍යවරුන්ට ඒ සඳහා වන පුහුණුව ලබාගැනීමට යම් කාලයක් ගතවන බැවින් එම ඒකකවල රෝගී ප්‍රතිකාරයන් යම් ප්‍රමාදයකට ලක්වනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය. කෙසේ නමුත් විශේෂ ප්‍රතිකාර ඒකකවල සේවයේ නියුතු වෛද්‍යවරුන් එක්වරම මුදානොහැර කොටස් වශයෙන් මුදාහැරීම සඳහා නිසි ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු යැයිද හෙතෙම පෙන්වා දෙයි.   ශ්‍රියානි විජේසිංහ
 

More News..