brand logo

ජාතික රෝහලේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට PCR කරල නැහැලු

12 October 2020

කොළඹ ජාතික රෝහලෙන් පෙරේදා (10) වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් තිදෙනාගේ ආශ්‍රිතයන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට මෙතෙක් පියවර ගෙන නැතැයි සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කරයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත සඳහන් කළේ රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරීන් විසින් රෝහලේ ආරක්ෂාව සඳහා මෙතෙක් කිසිදු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවය. මේ සම්බන්ධයෙන් රෝහල් පරිපාලනයෙන් කළ විමසීමකදී එහි නිලධාරිනියක් කියා සිටියේ වාර්තා වූ ආසාදිතයන් තිදෙනාගේ ආශ්‍රිතයන් සියලු දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර අවසන් බවය. මෙම වසංගතය තව තවත් ව්‍යාප්ත වීමට පෙර පසුගිය කාලයේ සිදුකළ පරිදි රෝහල් කාර්ය මණ්ඩලය සීමා කළ යුතු බවද ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කරයි. එමෙන්ම ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සිටින හෙද හෙදියන්ට ඔවුන් සේවය කරන රෝහල්වල ප්‍රධානීන් විසින් ලබාදී ඇත්තේ පෞද්ගලික නිවාඩු බවද හෙතෙම කීවේය. එම නිසා පසුගිය කාල වකවානුවේ සිදුවූ පරිදි මෙවරත් හෙද හෙදියන්ට නිවාඩු සම්බන්ධ ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවද එච්.එම්.එස්.බී. මැදිවත්ත සඳහන් කළේය. චාමර පල්ලේගෙදර
 

More News..