brand logo

ජාතික ක්‍රිකට් සංචිතය කොරෝනා නිවාඩුවෙන් පසු අද වැඩ අරඹයි

01 June 2020

කොරෝනා වසංගත අවදානම හේතුවෙන් මාස දෙකහමාරකට අධික කාලයක් නවතා දැමුණු ජාතික සංචිතයේ පුහුණුවීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නීති රීතීවලට අනුකූලව අද(ජුනි 01 වැනිදා) සිට යළිත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඇතුළු ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සිවුදෙනාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම පළමු පුහුණු වැඩමුළුව දින 12 ක නේවාසික පුහුණු සැසියක් ලෙසින් පැවැත්වෙනු ඇත. මෙම පුහුණු සැසිය සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩකයන්ද නිර්දේශ කරනු ලබන්නේ ද එම පුහුණු අංශයම වීමද විශේෂත්වයකි අදාළ පුහුණු වැඩසටහන සඳහා ක්‍රීඩකයන් 13 දෙනකු සහභාගිවීමට නියමිත වන අතර මෙම වැඩසටහනේ පළමු දිනය වන අද දිනයේදී ඔවුන් නේවාසිකව සිටින ෂැන්ග්‍රිලා හෝටලයේ ඇති ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය සහ පිහිනුම් තටාකය උපයෝගී කර ගනිමින් සිදුකරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිවේදනයේ සඳහන් පරිදි අද ඇරඹෙන පුහුණු වැඩමුළුව සඳහා පන්දු යැවීම සහ පන්දු රැකීම පමණක් ඇතුළත් වේ. මේ සඳහා වේග පන්දු යවන්නන් 6 දෙනකු, දඟ පන්දු යවන්නන් තිදෙනකු සහ තවත් පිතිකරුවන් දෙදෙනකු මූලික සැලසුමට ඇතුළත් කර තිබුණු අතර තවත් ක්‍රීඩකයන් දෙදෙනකුව පුහුණුව සඳහා කැඳවීමට පුහුණු අංශය තීරණය කර තිබේ. මෙම පුහුණු සැසිය සඳහා කාලසටහනට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් මෙසේය - සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, කසුන් රජිත, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා.
 

More News..