brand logo

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය 48 වැනි සංවත්සරය ‘සෙනෙහසේ දායාද’ සමඟින් සමරයි

23 March 2020

ඉතුරුම්කරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇති ප්‍රවීණතම ආයතනය වන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවයි. ජාතියට සකසුරුවම ඔස්සේ ඉතිරිකිරීම පිළිබඳ වැදගත්කම පහදා දෙමින් “ටිකෙන් ටික මිටෙන් මිට සතෙන් සතේ රුපියෙලෙන් රුපියල” ඉතිරිකරන්නට මග පෙන්වීමේ ක්‍රියාදාමයට වසර 48 ක් සම්පුර්ණ වන්නේ මාර්තු 16 වැනිදාටයි. ශ්‍රී ලංකාවේ එවකට ප්‍රධාන ඉතුරුම් ආයතන 4ක් වන 1832 දී පිහිටවූ ලංකා ඉතිරිකිරීමේ බැංකුව 1885 දී පිහිට වු තැපැල් කාර්යාලයීය ඉතිරිකිරීමේ බැංකුව 1938 දී පිහිට වු තැපැල් කාර්යාලයීය සහතිකපත් අරමුදල හා 1942 ආරම්භ වු යුද ඉතුරුම් ව්‍යාපාරය එක් කරමින් 1972 මාර්තු 16 වන දින ජාතික ඉතිරිකිරීමේ බැංකුව විශේෂ පාර්ලිමෙන්තු පනතක් මගින් පිහිටුවන ලදී. එදා මෙදා තුර වසර 48 ක් ශ්‍රී ලංකාවේ ඉතුරුම් ප්‍රවර්ධනය සඳහා විශේෂ මෙහෙවරක් ඉටුකළ ජාතික ඉතිරිකිරීමේ බැංකුව රට පුරා විහිදුණු ශාඛා 258 කින් හා 4,500 කට වඩා වැඩි තැපැල් බැංකු ඒකක මගින් සමාජයේ සියලු තරාතිරමේ පුද්ගලයන් සඳහා එකසේ බැංකුකරණ පහසුකම් සපයනු ලබයි. ජාතියේ ජීවනාලිය බඳු අපගේ ඉදිරි පරපුර ඉතුරුමින් සහ සකසුරුවමින් සවිබල ගන්වනු වස් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය 48 වන සංවත්සරය සමරන්නේ තවත් එවැනිම කර්තව්‍යයකට මුල පුරමිනි. ඕනෑම රටක් සිය ආර්ථීක දියුණුව ළඟ කර ගැනීම සඳහා සිය ජනතාවගේ මුල්‍ය ඉතුරුම් ආයෝජනය කිරීම සිදු කරයි එබැවින් ලොව සියලුම රටවල් සිය ජනතාවගේ ඉතුරුම් නගා සිටුවීම වෙනුවෙන් සිය බැංකු පද්ධතිය හා මූල්‍ය ආයතන ධෛර්යමත් කරයි. එලෙස අප රටේ ජනතාවගේද ඉතුරුම් සංචලනයන් තවත් උත්ප්‍රේරණය කිරීම වෙනුවෙන් හා සිය 48 වන සංවත්සරය යෙදෙන 2020 මාර්තු 16 වන දින ශ්‍රි ලංකාව පුරා උපත ලබන සියලුම දරු දැරියන්ට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හපන් ගිණුමක් සහ රු.1500/- ක තැන්පතුවක් සෙනෙහසින් දායාද කිරීමට නියමිතය. මෙහි ප්‍රධාන උත්සවය කොළඹ ලංකා හොස්පිටල්ස් හිදී ජාතික ඉතිරිකිරීමේ බැංකවේ සභාපතිතුමිය වන කේශිලා ජයවර්ධන මැතිනිය හා ලංකා හොස්පිටල්ස් හි සභාපති වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ආයතනයන්හි ඉහළ කළමනාකාරීත්වයේ සහභාගිත්වයෙන් අද දින පැවැත්වේ. හෙට දින ජය ගැනීමට නියමිත පුංචි මල් කැකුළුවලට නිසි මග පෙන්වීම ලබා දෙන්න ඔබත් අදම ලංකාවේ සුරක්ෂිතම බැංකුව සමග අත්වැල් බැඳ ගන්න. රුපියල් ට්‍රිලියනයකට වඩා වැඩි වූ වත්කම් සහ තැන්පතු පදනමකින් සවිමත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි සේවා විශිෂ්ටත්වය අන්තර්ජාතික හා ජාතික ආයතන බෝහොමයකගේ ඇගයීමට පාත්‍රවී ඇත.
 

More News..