brand logo

ජාතික ආණ්ඩුවකට තවත් සැලසුමක්

23 December 2018

ජාතික ආණ්ඩු යෝජනාවක් යළිත් ඉදිරිපත් කර ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඊට අදාළ යෝජනාව ලබන වසරේ පාර්ලිමේන්තු සභාවාරයේදී ගෙන ඒමට සැලසුම් කර ඇත. එම ජාතික ආණ්ඩුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ඇති කර ගැනීම සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් ඇතුළු පිරිස 2015 මහමැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග කර මන්ත්‍රීධුර හයක් ලබා ගත් අතර මඩකලපුවට පමණක් මුස්ලිම් කොංග්‍රසය යටතේ තරග කර ජාතික ලැයිස්තුවෙන් සෙයිඩ් අලි සාහිර් මවුලානා පාර්ලිමේන්තුවට තේරී පත් විය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක හැර නැතිනම් අමාත්‍යධුර 30ක් හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර 40ක් දක්වා සීමා කර ඇත. ජාතික ආණ්ඩුවක කැබිනට් ඇමැතිධුර 45ක් දක්වා වැඩි කළ හැකිය. කෙසේ වෙතත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 46 වැනි වගන්තිය 4 (11) හි සඳහන් පන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ ජාතික ආණ්ඩුවක් පිහිවන අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීරණ කළ යුතු බවය. එහි 5 වැනි වගන්තියේ 4 වැනි අනු ව්‍යවස්ථාවේ කාර්යයන් සඳහා ජාතික ආණ්ඩුවක් යනුවෙන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ​ හෝ ස්වාධීන කණ්ඩායමක් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුව බව සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෙම යෝජනාව දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පත් කිරීම සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුවෙන් පසුව ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ සැලසුම් කර තිබේ.
 

More News..