brand logo

ජාතික අධ්‍යාපන ආයතනයේ අමුතු අතිකාල ගෙවිල්ලක්

29 February 2020

ජාතික අධ්‍යාපන ආයතනය රාජ්‍ය ආයතනයක් වුව ද එහි කාර්ය මණ්ඩලවල අතිකාල ගෙවීම් සඳහා පමණක් පෞද්ගලික අංශ සේවකයන්ට අදාළ සාප්පු හා කාර්යාල සේවක පනත උපයෝගී කර ගන්නා බව අනාවරණය වී ඇත.

රාජ්‍ය අංශ සේවකයන්ට අදාළ ආයතන සංග්‍රහයට අනුව  මූලික වැටුපට පමණක් අතිකාල හිමි වන නමුත් ජාතික අධ්‍යාපන ආයතනය අතිකාල ගණනය කරන්නේ සියලු දීමනා ඇතුළත් දළ වැටුප පදනම් කරගෙන ය. මේ නිසා මාසයකට රුපියල් ලක්ෂ ගණනක් නීති විරෝධී අතිකාල දීමනා ලෙස සේවකයන් අතට පත් වන බව එම ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් 2018 වසර සඳහා අතිකාල වශයෙන් රුපියල් දෙකෝටි අනූ ලක්ෂයක් ගෙවා ඇති අතර එම වසරේ ආයතනය අතිකාල සඳහා වෙන් කර තිබී ඇත්තේ රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක් පමණි. එක්කෝටි හතළිස් ලක්ෂය වෙන් කර ඇත්තේ මූලික වැටුප පදනම් කරගෙන ය. 2019 වසරේ අතිකාල ලෙස ගෙවා ඇති මුදල රුපියල් තුන්කෝටි හැත්තෑ ලක්ෂයක් ගෙවා ඇත. එම වසරේ වෙන් කර ඇති මුදල රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකි. එම මුදල වෙන්න කර ඇත්තේ මූලික වැටුප නොව දළ වැටුප පදනම් කරගෙන බව ද ඉහත ආරංචි මාර්ග පැවසීය.

ජාතික අධ්‍යාපන ආයතනය මෙලෙස අතිකාල ගෙවීම් සඳහා  සාප්පු හා කාර්යාල සේවක පනත උපයෝගී කර ගන්නේ නම් සේවක නිවාඩු සහ සෙසු පරිපාලන කටයුතු වෙනුවෙන් ආයතන සංග්‍රහය උපයොගී කර ගත නොහැකි බවට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව 2019 වසරේ අගෝස්තු මස 16 වැනිදාතමින් යුක්තව දැනුම් දීමක් කර ඇත.

ආයතන සංග්‍රහයට අනුව රාජ්‍ය සේවකයන් සඳහා වාර්ෂික නිවාඩු 45ක් හිමි වෙයි. ඊට අමතරව ආපදා ණයනිල අඳුම් දීමනානිවාඩු දින දීමනා ඇතුළු වරප්‍රසාද රැසක් ආයතන සංග්‍රහයට අයත් ය. එහෙත් ආයතන සංග්‍රහයට අනුව අතිකාල ගෙවනු ලබන්නේ මූලික වැටුප පදනම් කරගෙන පමණි. මෙම තත්ත්වය මත දළ වැටුපට අතිකාල ලබා ගැනීම සඳහා පමණක් සාප්පු හා කාර්යාල සේවක පනත යොදා ගනිමින් ඒ යටතේ නොලැබෙන සෙසු වරප්‍රසාද සියල්ල ආයතන සංග්‍රහය යටතේ ලබා ගැනීමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ පමණක් බව එහි ඉහළ නිලධාරීහු අනාවරණය කරති.

නිලන්ත මදුරාවල

 

More News..