brand logo

ජාත්‍යන්තර යෝගා දින සැමරුම උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

15 June 2019

පස් වන ජාත්‍යන්තර යෝගා දිනය 2019 ජූනි 15 වන සෙනසුරාදා කොළඹ, නිදහස් චතුරස‍්‍රයේදී සමරනු ලැබීය. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවය සඳහා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා, ඉඩම් සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි දිගම්බරම් මැතිතුමා සම්භාවනීය අමුත්තන් ලෙස සහභාගී වූහ. ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා ද මේ සඳහා සහභාගී විය. දිවයින පුරා සිටින යෝගා පිළිබඳ උනන්දුවක් දක්වන සිය ගණනක්ද මෙම අවස්ථාවට සහභාගී විය. මෙම උත්සවය අමතමින් ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා යෝගා ව්‍යායාම යනු ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පොදු උරුමයේ වැදගත් කොටසක් බව ප‍්‍රකාශ කළේය. යෝගා සහ බෞද්ධ දර්ශනය අතර තිබෙන ශක්තිමත් සම්බන්ධතාවයන් පිළිබඳව ද අදහස් දැක්වූ එතුමා යෝගා යනු අපගේ සිරුරට සහ මනසට පමණක් නොව සමස්ත සමාජයටද සාමය සහ සහජීවනය ළගා කර දිය හැකි බලවේගයක් බව අවධාරණය කළේය. ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් යෝගා ව්‍යායාම ආයතන වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය, රාම් ක්‍රිෂ්ණා ආයතනය, අෂ්ටංක යෝගා මන්දීර්, සෙත්සඳ යෝගා, හත යෝගා මධ්‍යස්ථානය, ක්‍රියා බබාජි යෝගා අරණ්‍යම්, ධම්‍යා යෝගා, Institute of Human Excellence, බ්‍රහ්ම කුමාරි රාජ යෝගා මධ්‍යස්ථානය, The Art of Living, My Yoga Lounge, ශක්ති ආනන්ද යෝගා පාසල (මඩකළපුව), Adhi Yogam, Arogya Anahata Yoga, Samskruti Patanjali Yoga Centre සහ Rhythmic Yoga යන යෝගා මධ්‍යස්ථාන යෝගා, ප‍්‍රාණයාම සහ භාවනා අංග ඇතුළත් වැඩසටහනක් කළ අතර ඉන් අනතුරුව වඩා සංකීර්ණ යෝගා ව්‍යායාම ඉදිරිපත් කිරීමක්ද කළේය. මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ ටාටා මෝටර්ස් ශ‍්‍රී ලංකා සමාගම සමග එක්ව සංවිධානය කර තිබිණ. සෑම වසරකම ජූනි 21 වන දිනට යෙදෙන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම සඳහා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය ජූනි මාසය පුරා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව සංවිධානය කර තිබූ යෝගා වැඩසටහන, කැළණි රජමහා විහාරයේ පැවති “සාමය වෙනුවෙන් යෝගා වැඩසටහන” , සර්වෝදය ශ‍්‍රී ලංකා හි පැවති “එක්සත් බව සඳහා යෝගා” වැඩසටහන සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති යෝගා සහ නර්තන වැඩසටහන එවැනි වැඩසටහන් කිහිපයකි. අපේක්ෂා පිළිකා රෝහලේ ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස යෝගා යොදා ගැනීමේ වැඩසටහන සහ සමස්ත ලංකා යෝගා ආසන ශූරතාවය ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇත. ජායාරූප - ලලිත් පෙරේරා  
 

More News..