brand logo

ජාත්‍යන්තර මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ දිනය කිළිනොච්චියේදී සමරයි

05 April 2019

ජාත්‍යන්තර මානුෂාවදී බිම්බෝම්බ ඉවත්කිරීමේ දිනය අප්‍රේල් 04 දිනට යෙදී ඇති අතර එයට සමාගමීව ශ්‍රී ලංකාවේ එම දිනය සැමරීමේ උත්සවය සහ යුද්ධය නිසා සිදුවූ අවතැන්වීම සම්බන්ධයෙන් ස්ථිරසාර විසදුම් ලබාදීම පිළිබද වන ජාතික ප්‍රතිපත්තිය පිළබදව දැනුවත් කිරීමේ වැඩසටහන අද (05) දින කිළිනොච්චිය පරවිපරන්ජාන් ක්‍රීඩංගනයේදී සිදුකෙරිණ. ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම, උතුරු පළාත් සංවර්ධන හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සංවිධානය කළ වැඩසටහන වවුනියාව දිස්ත්‍රික් අයි.එම්. හනීෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. වැඩසටහනට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නියුතු යුධ හමුදා මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකක නිලධාරින්, භට පිරිස්, බිම්වෙඩි ඉවත් කිරීමේ ජාත්‍යන්තර සංවිධාන වන හලෝ ට්‍රස්ට්, මැග් ආයතන සහ බිම්වෙඩි ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධාන වන ඩෑෂ්, ෂාප් ආයතන වල නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ. 2020 වන විට මෙරට බිම්බෝම්බ වලින් තොර කලාපයක් කිරීම උදෙස් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන වඩාත් සාර්ථක කර ගැනීම සහ යුද්ධය නිසා සිදු වූ අවතැන්වීම සම්බන්ධයෙන් ස්ථිරසාර විසදුම් ලබාදීම පිළිබදව වන ජාතික ප්‍රතිපත්තිය පිළිබදව බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී සිටින සාමාජිකයින් දැනුවත් කිරීම, දිරිගැන්වීම හා ඇගයීම මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ විය. මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකයට අයත් ඇලවින් සුනඛයා විසින් බිම්බෝම්බ සොයා ගනු ලබන ආකාරය ප්‍රදර්ශනාත්මකව පෙන්වනු ලැබීය. වැඩසටහනට කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජී.වී.රවිප්‍රිය, පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජනරාල් ජානක රත්නායක, ශ්‍රී ලංකා බිම්බෝම්බ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.ජලදීපන්, සහකාර අධ්‍යක්ෂක නීල් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.   මාධව කුලසුරිය
 

More News..