brand logo

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

08 March 2019

සුහුරු කතක්-සොඳුරු ලොවක් යන තේමාව ඔස්සේ මෙවර කාන්තා දින සැමරුම් උත්සවය පැවැත් වීමට නියමිතයි. 1908 වසරේ මාර්තු 08 වන දින අමෙරිකාවේ ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් පිරිසක් සිදු කළ විරෝධතාවයක් පදනම් කර ගනිමින් 1911 වසරේදී ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ආරම්භ වුණා. මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින ප්‍රධාන සැමරුම් උත්සවය අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළේ, පෙබරවාරි මස පළමු වන දින සිට කාන්තා සැමරුම් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වු බවයි. සාම්ප්‍රදායික භූමිකා අභිබවා බොහෝ ස්ථාන කරා කාන්තාවන්ට ගමන් කළ හැකි බව නූතන ස්ත්‍රිය සිය භාවිතයෙන් සනාථ කර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කාන්තා දින පණිවිඩයෙන් දක්වා තිබෙනවා. ශ්‍රි ලංකාවට අභිමානයක් රැගෙන එමින් විවිධ ක්ෂේත්‍රවල ගෞරවයට ලක්වීමට ශ්‍රි ලාංකික කාන්තාවන්ට හැකි වී ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. කාන්තා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ස්ත්‍රී පුරුෂ සමභාවී සමාජ භාවිතය සවිබල ගැන්වීම සඳහා වඩාත් සුදුසු සහ විශිෂ්ඨ අවස්ථාවක් උදාවී ඇති බවයි. පොදු සමාජ යහපත වෙනුවෙන් කාන්තාවන්ගේ මැදිහත් වීම සහ කැපවිම ඉතා විශිෂ්ඨ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙවනවා. කාන්තාවන්ට ලැබිය යුතු නිසි තැන දිනා ගැනීම ,සමාජ ප්‍රගමනයට කාන්තාවන්ගෙන් ලැබෙන අනුපමේය දායකත්වය ඇගයීම ආදියේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය සතුටු දායක බවයි කාන්තා දින පණිවිඩයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ.
 

More News..