brand logo

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

01 May 2019

ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 වසරේ දී අමෙරිකාවේ චිකාගෝ නගරයේ දී පැය අටක වැඩ මුරයක් ඉල්ලා කම්කරුවන් විසින් ආරම්භ කළ කම්කරු සටන සංඛේතවත් කරමින් ලොව පුරා මැයි දිනය සමරනු ලබයි. මෙවර එහි තේමාව ‘සැමට තිරසර විශ්‍රාම ක්‍රමයක් උදෙසා සමාජ පාර්ශවකරුවන්ගේ භූමිකාව’ යන්නයි. ලෝක කම්කරු සංවිධානයේ දත්තවලට අනුව ලොව ශ්‍රම බලකාය ජනගහණයෙන් 58%කි. ඉන් 71%ක් පිරිමින් වන අතර සෙසු පිරිස කාන්තාවන් ය. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගත් කළ ජනගහණයෙන් 50.2%ක් ශ්‍රම බලකාය නියෝජනය කරන අතර ඉන් 32.4%ක් කාන්තාවන් බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රකාශ කළේ ය. පැය 8ක සේවා මුරයක් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් වශයෙන් ලෝක කම්කරු දිනය ප්‍රකාශයට පත් කෙරේ. කෙසේවෙතත් පසුගිය අප්‍රේල් මස 21 වන දින මෙරට සිදුවු ඛේදජනක සිදුවීමත් සමඟ මෙවර මැයි දින පෙළපාලි නොපැවැත්වීමට මෙරට දේශපාලන පක්ෂ හා සංවිධාන පියවර ගෙන ඇත. නිදහස් පක්ෂ මැයි දින සැමරුම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සමඟ එක්ව සැමරීමට නියමිත අතර, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී මෙවර මැයි දින සැමරුම පැවැත්වීමට තීරණය කර ඇත. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කෙරෙන මැයි දින සැමරුම කෝට්ටේ නගර සභා ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය ද මෙවර මැයි දින සැමරුම නොපවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පැවසුවේය.
 

More News..