brand logo

ජල විදුලි උත්පාදනය පහළට - විදුලි කප්පාදුවක් නැහැ

18 February 2020

මේ දිනවල අප රටේ සමස්ත විදුලිය නිෂ්පාදනය ගිගවොට් 38.46ක් වන අතර දැනට පවතින දැඩි නියගය සහිත කාලගුනික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය සියයට 23.1ක් දක්වා පහත බැස තිබේ. එයට හේතුව වන්නේ මාස එකහමාරක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි නියගය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශවල පවතින ජල මට්ටම සීග්‍ර යෙන්  පහත බැසීමයි. ඒ අනුව ඊයේ දිනය (17) වනවිට අප රටේ සමස්ත විදුලිය නිෂ්පාදනය පහත පරිදි වේ. ජලවිදුලිය නිෂ්පාදනය සියයට 23.01, ඩීසල් හා ගල් අගුරු තාප බලගාර ආශ්‍රිත විදුලිය උත්පාදනය සියයට 74.92, සූර්ය බල ශක්ති උත්පාදනය සියයට 0.84, හා සුළං බල ශක්ති උත්පාදනය සියයට 1.2ක් වශයෙනි. ඒ අනුව මේ වනවිට ප්‍රධාන විදුලිබල පද්ධතියට සැපයෙන සමස්ත විදුලිපල ප්‍රමාණයෙන් සියයට 74.92ක් ම ජනනය කරනු ලබන්නේ ඩීසල් හා ගල්අගුරු තාප බලාගාර මගිනි. ඒ අන්දමින් විදුලිය උත්පාදනය කිරීම මිල අධික වුවත්, පවතින විදුලිබල අවශ්‍යතාවය නිසා අඛණ්ඩයම විදුලි බලය ලබා දීමට පියවර ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට පියවර ගෙන තිබෙන අතර මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලි බල මණ්ඩලය එකම අමාත්‍යාංශයක් යටතේ පැවතීම තුළින් විදුලි බලය සැපයීම සඳහා තීන්දු තීරණ ගැනීමේ දී පහසුවක් ඇතැයි ද අමාත්‍යවරයා අවධාරණය කරයි. එමෙන්ම මෙම වසර තුළ කිසිදු කප්පාදුවකින්  තොරව විදුලිය ලබා දීමට  විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ. ඊයේ (17) දිනය වනවිට දෛනික විදුලි ඉල්ලුම මෙගවොට් 2346.8කි.
 

More News..