brand logo

ජල මණ්ඩලයෙන් පාරිභෝගිකයන්ට බලපෑම්

02 October 2020

රතු බිල් පත් නිකුත් කොට ඇති ජල පාරිභෝගිකයන්ට සමස්ත බිලෙන් සියයට හතළිහක් ගෙවා ඉතිරිය කොටස් වශයෙන් ගෙවීමට හැකියාව තිබියදීත් ඇතැම් පාරිභෝගිකයන්ට සම්පූර්ණ බිලම ගෙවන ලෙස ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් බලපෑම් කර ඇත. එසේ ගෙවීම් නොකළ පුද්ගලයන්ගේ නිවෙස්වල ජල සැපයුම් අත්හිටුවා තිබේ. මට්ටක්කුලිය සම්මන්ත්‍රණපුර සහ කොළඹ අවට ප්‍රදේශවලින් මෙම සිදුවීම් වාර්තා වන අතර බත්තරමුල්ල බටපොත ශාඛා කාර්යාලයට බිල් ගෙවීම් කළ ධම්මික පීරිස් නම් ජල පාරිභෝගිකයකු සිය අත්දැකීම මෙසේ විස්තර කළේය. "මාස දෙකකට මට රුපියල් 15000 ක බිලක් තිබුණා. ඒකෙන් 5000 ක් කලින් ගෙවලා තිබුණේ. නමුත් ගෙවුණු මුදල බිලෙන් අඩු වෙලා තිබුණේ නෑ. බටපොත කාර්යාලයට ගෙවන්න ගියාම ඒ අය එක පාර ඉතුරු රුපියල් 10000 ක මුදල ගෙවිය යුතු බව කිව්වා. ප්‍රශ්නයක් වෙයි කියලා මම ඒ බිල ගෙව්වා. මගේ මාසික බිලේ අගයත් හේතුවක් නැතුවම එක පාරට වැඩිවෙලා තියෙන්නේ. මේ පිළිබඳව 'අරුණ' ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්. බී රුවින්ස්ගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ බිල් ගෙවීම් සම්බන්ධව යම් අක්‍රමිකතාවක් සිදුව ඇතිනම් ඒ පිළිබඳව සොයා බලන බවයි. කෙසේ නමුත් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරන පරිදි කොවිඩ් වසංගතය හේතුවෙන් ජල කප්පාදු කිරීම් ආදිය නොකිරීම මත මේ වසරේ ජල පාරිභෝගිකයන් විසින් ගෙවිය යුතුව තිබූ සමස්ත මුදල රුපියල් මිලියන 4000 කි. ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ මාසික ආදායම මිලියන 2300 කි. පසුගිය මාසයේ සිට රතු බිල්පත් නිකුත් කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් බිල්පත් ගෙවීමට උනන්දු වී ඇති බව පැවසූ සාමාන්‍යාධිකාරීවරයා ඒ අනුව මෙ මස ආදායම මිලියන 2800 දක්වා වැඩි වී ඇති බවද සඳහන් කළේය. එමෙන්ම ඇතැම් ජල පාරිභෝගිකයන් බිල ගෙවීම් සිදු කරන්නේ රතු බිල්පත පැමිණි පසුව බවද සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ශිරන්තනී මානවඩු
 

More News..