brand logo

ජයසූරිය බොක්සිං වළල්ලට ගොඩ වෙයි

12 June 2020

1969 ජුනි 30 මාතර දී උපන් සනත් ටෙරාන් ජයසූරිය, උපන් මව්රට තුළ මෙන්ම ලෝකය පුරා ජනප්‍රිය වූයේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසයි. ඒ ඔහු සතු පන්දුවට පහර දීමේ විලාශය සහ තරග දිනවීමේ සුවිශේෂී හැකියාව හේතුවෙන්. ලොව මෙතෙක් බිහිවූ හොඳම එක්දින ක්‍රීඩකයන් අතරට සනත් ජයසූරිය එක්ව තිබෙනවා. ක්‍රිකට්වලට සමුදුන් සනත් ජයසූරිය පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළා. කාලෙන් කාලෙට පුවත් මවන සනත් ජයසූරිය මේ වෙද්දී බොක්සිං පුහුණු වෙන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. මේ විදියට බොක්සිං පුරුදු වෙන ඡායාරූප පෙළකුත් සිය මුහුණු පොතට එක් කර තිබෙනවා. සනත් බොක්සිං පුහුණුවීම් සිදු කරන්නේ තරගවලට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි. ශරීර සුවතාවය රැක ගැනීම වෙනුවෙන් බොක්සිං පුහුණුවීම් කරන බව තමයි මුහුණු පොතේ ප්‍රකාශ කරලා තිබුණේ. මේ අපූරු ඡායාරූප ඉෂාර කොඩිකාරගේ කැමරා කාච මත සටහන් වී තිබුණා.... හරියටම විස්තර දැන ගන්න අපි සනත් ජයසූරියට කතා කළා. ‘‘අද ඊයේ ඉඳං නෙවෙයි, දිනපතාම මම බොක්සිං පුහුණුවීම් කරනවා. මොන දේ කළත් එදා වගේම ශරීර සුවතාව රැකගන්න උපරිමයෙන්ම මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් යොදවන්න කාලය මම කොහොම හරි හොයා ගන්නවා. බොක්සිං ක්‍රීඩාවේ යෙදෙනකොට ශරීරයේ ශක්තිය හා ජවය එක ලෙසම පවත්වා ගන්න පුළුවන්. මම හිතන්නේ නිරෝගි පුද්ගලයකුට මෙය හොඳ ව්‍යායාමයක්.’’ පනස් වැනි විය ඉක්මවූ සනත් ජයසූරිය ‘හැඩවැඩ’ ට කීවේ ජවසම්පන්න ලෙසමයි. අනුෂා රණසිංහ
 

More News..