brand logo

ජයන්තගේ මිදුණු විශ්වයේ විශ්වමාලි

21 September 2020

ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම චිත්‍රපටය ‘මිදුණු විශ්වය’ යි. එයට රංගනයෙන් දායක වෙන නිල්වලා විශ්වමාලී සමග කළ සංවාදයකි මේ. ජයන්ත චන්ද්‍රසිරි ඔහුගේ නිර්මාණයකට යම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් තෝරා ගැනීමම ඔහුගේ හෝ ඇයගේ යම් ජයග්‍රහණයක්. කොහොමද ඔබට ‘මිදුණු විශ්වය’ සමග සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ? නිර්මාණ කිහිපයක ෂූටින් කරන අතරේ තමයි මට ජයන්ත සර්ගෙ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ​අවස්ථාව ලැබුණේ. ඔහු ඒ වනවිට චිත්‍රපටයක් රූගත කරමින් සිටින බව මම දැනගෙන හිටියා. කොහොම වුණත් ජයන්ත චන්ද්‍රසිරි යටතේ රංගනය හදාරන බලාපොරොත්තුවෙන් මම හිටියේ. ඔහු කරන රංගන පාඨමාලාව ගැන තොරතුරුත් මම දැනගෙන හිටියා. ඒ රංගන පාඨමාලාවට සම්බන්ධ වෙන්න බලාපො​රොත්තුවෙන් ඉන්න අතරේ තමයි මට ඔහුගේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඒක මම මගේ ජීවිතේ ලබපු භාග්‍යයක්. ජයන්ත චන්ද්‍රසිරි ඔබ ගැන දැනගෙන හිටියාද? නැහැ. ඔහු මාව දැනගෙන හිටියෙ නැහැ. ඔහුගේ නිර්මාණයේ කලා අධ්‍යක්ෂවරයෙක් තමයි මාව ඔහුට යෝජනා කරලා තිබුණේ. ඊට පස්සෙ ජයන්ත සර් මට එන්න කියලා සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා. ඒකෙන් සමත් වුණහම තමයි මිදුණු විශ්වය චිත්‍රපටයට මාව තෝරාගත්තේ. ජයන්තත් එක්ක වැඩ කරපු කාලය කොහොමද? මෙහෙමයි. ලංකාවේ රංගනය ගැන විධිමත්ව හදාරන්න තියෙන තැන් හරි අඩුයි. කැමරාව ඉස්සරහා වැඩ කිරීමම තමයි හදාරන්න තියෙන හොඳම විදිහ. මේ චරිතය මට ලැබුණේ මම අධ්‍යක්ෂණය වෙන්න හීන දැකපු අධ්‍යක්ෂවරයෙක් යටතේ. චරිතය ලැබුණු ගමන් මම හිතාගත්තා මට පුළුවන් උපරිමය කරනවා කියලා. මොකද මේක මට විශාල අවස්ථාවක්. සෙට් එකට ගිය ගමන් මම කළේ ජයන්ත සර් අනෙක් අයව අධ්‍යක්ෂණය කරන හැටි බලන් ඉන්න එක. එහෙම බලන් ඉන්නෙ නැතිව ඉන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් හොඳට ඔහු ඔහුගේ කාර්යය කරනවා. අපට උගන්වමින් තමයි ඔහු රූගත කිරීම් කළේ. ඔබ රංගනය ගැන විධිමත් හැදෑරීම් කරලා තියෙනවද? දැනටමත් කරමින් ඉන්නවද? මම කලිනුත් කිව්වා වගේ එහෙම හැදෑරීම් කරන්න නිසි තැන්වල අඩුවක් අපේ රටේ තියෙනවා. කොහොම නමුත් මම විශ්වවිද්‍යාලයෙදි ඉගෙන ගත්තෙ නර්තනය. මූලිකවම ඉන්දියානු කථක් නර්තනය. ඒ අතරතුරේදි තමයි මම රංගනයට යොමුවුණේ. රංගනය ඉගෙන ගත යුතුයි කියන තැන මම හිටියා. මට ලැබුණු චරිතවලට මම රංගනයෙන් දායක වුණේ මම ම හිතාගත්ත ක්‍රමවේදයකට. ඒ තුළ මට දැනුණා රංගනය ගැන විධිමත්ව හැදෑරිය යුතුයි කියලා. ඒ නිසා ප්‍රසන්නජිත් අබේසූරිය මහතා යටතේ රංගනය හැදෑරුවා. ඊට පස්සේ මෑත කාලීනව සෝමලතා සුබසිංහ රංගන පාසලේ කෞශල්‍යා ප්‍රනාන්දු මහත්මිය යටතේ රංගනය හැදෑරුවා. එහි පාඨමාලාව අවසානයේ අපි වේදිකා නාට්‍යයකුත් කළා. ඔය හැදෑරීම්වලින් පසුව මට චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. එතකොට මට පැහැදිලි වෙනසක් දැනුණා මගේ රංගනයේ වෙනසක් වැඩිදියුණු වීමක් වෙලා තියෙනවා කියලා. ඔය දේවල් කරද්දි නර්තනය මගහැරුණේ නැද්ද? ඩාන්සින් කියන්නේ මගේ ජීවිතේ කොටසක් වගේ. මොකද මට ගොඩක් දේවල් ලැබුණේ ඩාන්සින්වලින් නිසා. මට ශක්තිය තියෙන තෙක් මම නර්තනයේ යෙදෙයි. ඒ ගැන අධ්‍යයනය කරයි. මම, මගේම නර්තන පාසලකුත් කළා. නමුත් මට පුංචි දුකක් තියෙනවා නර්තන ක්ෂේත්‍රයට අපේ රටේ තියෙන තැන ගැන. නර්තන ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි, ඇත්තටම බැලුවොත් රංගන ක්ෂේත්‍රයේ කියලත් එය වැඩි වෙනසක් නැහැ. කොහොම නමුත් කථක් නර්තනයේ විශාරද මට්ටම දක්වා මම සම්පූර්ණ කරලා තියෙනවා. හොඳ රංගනයකට මානසික නිදහස හරිම වැදගත්. මොනවද ඒ වෙනුවෙන් කරන්නේ? මුල් කාලෙදි මට ඔය ගැන වැඩි දැනුමක් තිබුණෙ නැහැ. හැබැයි නර්තනය වෘත්තීමය විදිහට හදාරන්න ගනිද්දි මට තේරුණා එහි මානසික පැත්තකුත් තියෙනවා කියලා. ඊට පසසේ මම හදාරන්න ගත්තා සිරුරේ චලන මනසත් සමග සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා. වර්තමානයේත් මම ඒ ගැන හොයනවා. අධ්‍යයනය කරනවා. ඒක පුළුල් විෂයයක්. අනාගතයේදී ඒ ගැන උගන්වන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් අවසන් වශයෙන් මිදුණු විශ්වයට අමතරව ඔබේ ඉදිරි අනෙකුත් නිර්මාණ ගැන දැන ගන්න කැමතියි? ‘කූඹියෝ’ අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්නගේ චිත්‍රපටයට මම රංගනයෙන් දායක වුණා. ඒ චිත්‍රපටයේ කාන්තා චරිත තුනයි තියෙන්නේ. ඉන් එකක් තමයි මම නිරූපණය කරන්නේ. බෙනට් රත්නායක මහත්මයාගේ චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒක ටිකක් රැඩිකල් චරිතයක්. ඊට අමතරව සනත් ගුණතිලක මහත්මයාගේ අලුත් චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතයට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඔය චිත්‍රපට තුන තමයි ඉදිරියේදී එන්න තියෙන්නේ. හසිත කුරුප්පු ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
 

More News..