brand logo

ජපානයට ආවේ නැත්නම් ඔලිම්පික් කියන්නෙ හීනයක්

27 July 2021

කෙනෙක්ට ඉතිහාසයක් වෙනස් කරන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද? අද අපි ඉඩ වෙන් කරන්නේ ක්‍රීඩාවෙන් ලංකාවේ ඉතිහාසයක් වෙනස් කරපු ක්‍රීඩිකාවක් වෙනුවෙන්. ඇය තමයි මිල්කා ගෙහානි. ශ්‍රී ලංකා ධජය යටතේ මිල්කා මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට ඉදිරිපත්වන පළමු ජිම්නාස්ටික් ක්‍රීඩිකාව වන්නේත් මිල්කා. ලංකාව නියෝජනය කරන බහුතරයක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වයිල්ඩ් කාඩ් වටයෙන් ඔලිම්පික් වරම් ලැබුණද, මිල්කා එක එල්ලයේම ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබීමද මෙහිදී කැපී පෙනෙන කාරණයක් වුණා. මිල්කා සහභාගිවන ‘තරගකාරී ජිම්නාස්ටික්’ වටයේ තරග අද (25 වැනිදා) සිට ආරම්භ වෙනවා.

ජිම්නාස්ටික් පටන් ගන්නේ?

අවුරුදු 7දි සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් ජිම්නාස්ටික් පටන් ගත්තේ.

ඊට පස්සේ?

සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් පස්සේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වෙලා ක්‍රීඩාවේ නිරත වුණා. ඊට පස්සේ කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයට ඇතුළු වුණා.

ජිම්නාස්ටික්වලට යොමු වෙන්නේ ගෙදර අයගෙ කැමැත්තටද?

නැහැ. මට ආස හිතිලා අම්මාට තාත්තාට කිව්වා. ඊට පස්සේ ඔවුන් මාව යොමු කළා. පොඩි කාලෙ ඉඳන්ම යම්කිසි දෙයක් ආසාවෙන් කරනවා නම් ගෙදරින් ඒ දෙයට හැමදාම අපිට අවස්ථාව ලැබුණා.

මේ වගේ තත්ත්වයකට එයි කියලා හිතන්න පටන් ගත්තේ කොයි කාලයේද?

දෙක වසරේදී ඉන්දියාවේ තිබුණු ජිම්නාස්ටික් තරගාවලියකට සහභාගි වුණා. මම සහභාගි වූ ඉසව් දෙකකින් පළමු ස්ථානයත්, දෙවැනි ස්ථානයත් මට ලැබුණා. ටීවී එකේ ඔලිම්පික් පෙන්නනවා දැකලා තිබුණා. ඉතින් ඒ කාලේ ඉඳන්ම හිතුවා මටත් ඔලිම්පික් යන්න ලැබුණොත් කියලා.

දැන් ඉන්නේ ජපානයේ?

2019 වසරේදී ජපානයට ආවේ. එතකොට මට වයස අවුරුදු 16යි.

ජපානයට එන්න අවස්ථාව ලැබෙන්නේ?

ජිම්නාස්ටික් වැඩිදුර හැදෑරීම සඳහා මට ලැබුණු ශිෂ්‍යත්වයකින් තමයි ජපානයට එන්නේ.

තනියමද ආවේ?

නැහැ, මගේ පුහුණුකරු රංජන තරංග සර් එක්ක මම ජපානයට ආවේ. නමුත් පුහුණුකරුට මාස පහකින් විතර නැවත ලංකාවට එන්න වුණා. සර් ලංකාවට ආවාට පස්සේ මෙහෙ කෝච්ලා එක්ක තමයි පුහුණුවීම් කරන්න වුණේ.

දැන් ජපන් භාෂාව පුළුවන් ඇති?

මුල් කාලෙනම් කිසිම දෙයක් තේරුණෙ නැහැ. ඒත් දැන් ටිකක් පුළුවන්. කියන ඒවා තේරෙනවා. ජිම්නාස්ටික් ශිෂ්‍යත්වයක් වෙනුවෙන් ජපානයට ආවත් මට මගේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා.

මෙතෙක් ඉතිහාසයේ ලංකාව වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය කරන පළමු ජිම්නාස්ටික් ක්‍රීඩිකාව ඔබ?

ඒ ගැන කියන්න වචන නැහැ. ගොඩක් සතුටුයි. ඒ වගේම ආඩම්බරයි. පොඩි කාලේ ඉඳන් වෙච්ච මහන්සියේ ප්‍රතිඵල දැන් ලැබිලා තියෙනවා.

ඔලිම්පික් සුදුසුකම් ලබලා තියෙනවා කියලා කොහොමද දැනගත්තේ?

සුදුසුකම් ලබලා තියෙනවා කියලා මුලින්ම දැනගත්තේ මම නෙවෙයි මගේ තාත්තා. තාත්තාගෙන් තමයි මමත් දැනගත්තේ. එදා මගේ හිතවත් අය ගොඩක් සුබ පතලා මැසේජ් පවා එවලා තිබුණා.

මිල්කා තරගයට සහභාගි වෙන්නේ ලංකාවේ කෝච් එක්කද?

රංජන තරංග සර් අනිවාර්යයෙන් ඉන්න ඕනේ මගේ තරග පැවැත්වෙන වෙලාවේ. මේ වෙලාවේ කියන්න ඕනේ චමින්ද ප්‍රනාන්දු, උදාර ලියන්වල කියන සර්ලා යටතේත් පොඩිකාලේ මම පුහුණුවීම් ලබලා තියෙනවා.

ජපානයට එනතෙක් වියහියදම් කොහොමද කර ගත්තේ?

අම්මයි, තාත්තයි තමයි ඒවා බලා ගත්තේ. මේ දක්වා ක්‍රීඩාව ගෙන එන්න සෑහෙන වියදම් දරන්න වුණා. නමුත් මම පොඩි නිසා අම්මයි තාත්තායි කවදාවත් මට ඒවා කියලා නැහැ. ඒත් මට ඒ කාලේ තේරෙනවා මේවාට වියදම් යනවා කියලා. ඒත් අවශ්‍ය කරන හැමදේම ඔවුන් අඩුවක් නැතිව මට ලබා දුන්නා.

ක්‍රීඩාවේදී අඳින ඇඳුමත් ගණන් ඇති?

ටිකක් ගණන් යනවා. මම පොඩිකාලේ ඉඳන් ඇඳුම් මහ ගත්තේ සුජීවා කියලා ආන්ටි කෙනෙක්ගෙන්. ජපානයට ආවාට පස්සේ වෙනම ඇඳුම් ලැබුණා.

නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඔවුනුත් ජිම්නාස්ටික් කරනවාද?

ලොකු නංගි 6 වසරේ. අනිත් නංගි 5 වසරේ. එයාලා ජිම්නාස්ටික්වලට යොමුවෙලා නැහැ. ඒත් මම ක්‍රීඩා කරනවා බලන්න ඔවුන් කැමැතියි.

ලංකාවේ පුහුණුවීම් කරානම් මෙවර ඔලිම්පික් උළෙලට එන්න ලැබෙයිද?

ජිම්නාස්ටික් ක්‍රීඩාවේදී අපේ රටේ ගොඩක් අඩු පහසුකම් තියෙන්නේ. ජපානයේ පහසුකම් සහ ලංකාවේ පහසුකම් හරියට අහසට පොළොව වගෙයි. ජපානයට එන්න අවස්ථාවක් ලැබුණේ නැත්නම් මම හිතන්නේ නැහැ මට ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වෙන්න ලැබෙයි කියලා.

ජිම්නාස්ටික්වලට ලංකාවේ තියෙන පහසුකම් වැඩි කළොත් මිල්කා වගේ තවත් ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට බිහිවෙයි කියලා විශ්වාසයක් තියෙනවා?

අනිවාර්යයෙන්ම. ලංකාව පුරාම ජිම්නාස්ටික් කරන ළමයි ඉන්නවා. ඒත් තරමක් දුරට හෝ කොළඹ තමයි පහසුකම් තියෙන්නේ. පහසුකම් තියෙනවා නම් තව ඔනෑ තරම් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලංකාවෙන් බිහි වෙනවා.

සාමාන්‍යයෙන් දිනකට පැය කීයක් විතර පුහුණුවීම් කරනවාද?

දවසට පැය 7ක් හෝ 8ක් පුහුණුවීම් කරනවා.

පාසලේ අය දන්නවාද ඔබ ඔලිම්පික් නියෝජනය කරනවා කියලා?

වයිරස තත්ත්වයත් එක්ක පාසල් යන්න බැරි වුණා. නමුත් මම ඔවුන්ව දැනුවත් කළා මම පරිසාධන මට්ටම ඉක්මවලා තියෙනවා කියලා.

විවේකයක් ලැබෙන වෙලාවට මොකද කරන්නේ?

සතියෙම පුහුණුවීම් තියෙන නිසා විවේකයක් ලැබෙනවා හරිම අඩුයි. අම්මට තාත්තාට හැමදාම කතා කරනවා, යාළුවන්ට කතා කරනවා. ඒවා තමයි.

ඔලිම්පික්වලට තියෙන සූදානම?

ඕනෑම ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවකගේ හීනය තමයි ඔලිම්පික්. ඒ හීනය වෙනුවෙන් දිවා රෑ නොබලා සූදානම් වුණා.

මිල්කා ජපානයේම ඉන්න නිසා ජිම්නාස්ටික් තරග පැවැත්වෙන ක්‍රීඩාගාරය දකින්න ඇති?

ටෝකියෝවල සෙතගයා තමයි ක්‍රීඩාංගණය තියෙන්නේ. නමුත් ඔලිම්පික් ගම්මානයට එන්න කලින් ඒක දැක්කේ නැහැ.

තරගයේ ක්‍රීඩා කිරීමේ අභියෝගයට අමතරව කොරෝනාවලිනුත් දැන් පරිස්සම් වෙන්න වෙලා තියෙනවා?

ගිය සතියේ අපිටත් එන්නත ලබා දුන්නා. ඔලිම්පික් ගම්මානයට යන්න කලින් පී.සී.ආර්. පරීක්ෂණයන් 2ක් කරන්න ඕනේ. ක්‍රීඩාව වෙනුවෙන් අවධානය යොමු කරනවා වගේම වයිරසයෙන් ආරක්ෂා වීමටත් අවධානය යොමු කරන්න වෙලා තියෙනවා.

අන්තිමට ලංකාවට ආවේ?

මෑතකදි ආවේ නැහැ. අන්තිමට ආවේ 2019 වසරේදී.

කෑමබීම පාලනය කරනවාද?

ලංකාවේ ඉන්නකොටනම් පාලනයක් තිබුණේ නැහැ. ඒත් දැන් කෑමබීම පාලනය කරනවා. මොකද මෙහෙ පුහුණුවීම්වලදි දිනපතා බර මනිනවා.

කන්න කැමැතිම කෑම?

දැන් කන්නේ ජපානයේ තියෙන කෑම. ඒත් මම ආසයි මගේ ආච්චි අම්මා හදන අඹ ව්‍යාංජනය කන්න.

ජිම්නාස්ටික් හැර කැමැතිම වෙනත් ක්‍රීඩා?

රග්බිවලට ආසයි.

ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් නොවුණා නම්?

එහෙම නම් අධ්‍යාපනය අතින් ඉදිරියට යයි.

ඔලිම්පික්වලින් පස්සේ මිල්කාගේ මීළඟ බලාපොරොත්තුව ගැන කිව්වොත්?

ඊට පස්සේ තියෙන ළඟම බලාපොරොත්තුව තමයි ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් ලංකාවට පදක්කමක් දිනන එක. ගයාශාන් විතානආරච්චි  
 

More News..