brand logo

ජපන් වාහන නිෂ්පාදනය පහළ යයි

01 July 2020

කොරෝනා වසංගත තත්ත්වය තුළ ජපානයේ මෝටර් රථ නිෂ්පාදනය විශාල වශයෙන් පහත වැටී ඇති බැව් එරට මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරට සාපේක්‍ෂව මැයි මාසය වනවිට ප්‍රධාන මෝටර් රථ සමාගම් 8ක (රට තුළ) නිෂ්පාදනය සියයට 62 කින් පමණ පහත වැටී ඇති බැව් සඳහන් වේ. ජපානයේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් සෑම එකකම පාහේ නිෂ්පාදනය පහත වැටී තිබේ. මෙයට හේතු වී ඇත්තේ මෝටර් රථ සඳහා වන ඉල්ලුම පහත වැටීම සහ වසංගතය හේතුවෙන් කර්මාන්තශාලා වසා තැබීමයි. මෙයට පෙර එරට මෝටර් රථ නිෂ්පාදනයෙහි මෙවැනි කඩා වැටීමක් සිදුව තිබුණේ 2011 වසරේයි. නමුත් එවර වුවද මෙතරම් පහත වැටීමක් සිදුව නොතිබූ අතර එහිදී වාර්තා වී තිබුණේ සියයට 60ක පමණ පහත වැටීමකි. එවර එවැනි තත්ත්වයක් ඇති වීමට හේතු වී තිබුණේ ජපානයේ ඊසාන දෙසට බලපෑ භූමිකම්පාවක් සහ සුනාමියකි. මේ නිසා සැපයුම් ජාලවලට ඇති වූ බලපෑම් මෝටර් රථ නිෂ්පාදනයටද බලපා තිබිණි. ටොයොටා සමාගමේ නිෂපාදනය පසුගිය මාස 5 ක කාලය තුළම අඛණ්ඩව අඩුවෙමින් ඇති බැව් වාර්තා වෙයි. ඊට අමතරව මැස්ඩා, නිසාන්, සුබාරු වැනි සමාගම්ද ජපානය තුළ නිෂ්පාදනය කරන මෝටර් රථ ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටී තිබේ. සහන් වික්‍රමගේ
 

More News..