brand logo

ජපන් ගිහින් ගෙනා සකුරා මල

29 November 2020

  ත්‍රිරෝද රථ රියැදුරකු වූ සැමියා පවුල අතැර ගියත් ශ්‍රියාණි ජීවන සටන අතැරියේ නැත. තම පුතු සහ දියණිය උස් මහත් කර ඔවුන්ගේ අනාගතය සැපවත් කිරීම ඇගේ එකම අරමුණ විය. ඇය ඔවුන්ගේ සියලු කටයුතු කළේ ඉඳිආප්ප විකුණා ඉපයූ මුදලින්ය. ඥාති සොහොයුරකු මාර්ගයෙන් පුතාව ජපානයට යවන්නට ශ්‍රියාණිට පොටක් පෑදෙන්නේ මේ අතරේය. වයස අවුරුදු දහසය ලබත්ම කසුන්ට ජපානයේ ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙන්නේ මේ අනුවය. ජපන් භාෂාව ඉගෙන ගන්නට කසුන් මීගමුවේ පන්සලකට යන්නේ එම ඉලක්කය ජය ගන්නටය. මවගේ සිහිනය සැබෑ කරමින් ජපානයේ වැඩිපුර අධ්‍යාපනය ලබන්නට යන්නට කසුන්ට වරම් ලැබෙන්නේ 2016 දීය. තම මවත් සොහොයුරියත් ලංකාවේ තනිකර දමා කිලෝමීටර් හයදහස් පන්සිය අනූ හයක දුරකට ගිය කසුන් අනාගත සිහින සිත තබාගෙන ජපානයේ ඉගෙනීම ඇරඹුවේය. ඉගෙන ගන්නා අතරේ රැකියාවක් කර වැඩිපුර යමක් හම්බ කරගන්නටද ඔහුට අවස්ථාව ලැබුණේය. ඉගෙන ගන්නා අතරේ කොන්ක්‍රීට් වැඩපළක සේවය කර ලක්ෂ දෙකහමාරක වැටුපක් ලබන්නට කසුන්ට හැකිවිය. එයින් වියදමට කොටසක් තබා ගෙන ඉතුරු මුදල් මවට එවන්නටද කසුන් අමතක කළේ නැත. තමා සේවය කරන කොන්ක්‍රීට් වැඩපළට සේවකයන් සපයන මෑන්පවර් ආයතනයේ හිමිකාරියගේ හිත දිනා ගන්නට කසුන්ට මේ අතරේ හැකි විය. කාලයක් යද්දී මෑන් පවර් ආයතනයේ හිමිකාරිය වූ ඔෂකි චිකෝරාගේ හිත ගෙන ඇගේ නිවසටද යන්නට එන්නටත් කසුන්ට වාසනාව ලැබුණේය. ඔෂකි චිකෝරා කෝටිපති ව්‍යාපාරික කාන්තාවක් වූ අතර ඇගේ පෙම්වතාද ශ්‍රී ලාංකිකයකු විය. ඇයගේ කලින් විවාහයේ දරුවන් තිදෙනෙකි. බාලම දැරිය ඇයත් සමග නිවසේ ජීවත් වූවාය. ඇය ඔටකි සෝරාය. නිවසට යන එන අතරේ සෝරා හා කසුන් පෙම්වතුන් බවට පත් විය. ඒ 2019 වසරේදීය. ටික කලක් යද්දී සෝරාගේ මව මෙම පෙම් පලහිලව්ව දැන ගත්තාය. කසුන් ඇගේ හිත දිනාගෙන සිටි නිසා මේ සම්බන්ධයට ඇයගෙන් විරෝධයක් එල්ල නොවීය. ඒ වනවිට කසුන් ජපානයට ගොස් වසර තුනක් ගත විය. ජපානයෙන්ම සොයාගත් පෙම්වතිය කවදා හෝ විවාහ කර ගන්නට කසුන් සිහින මැව්වාය. කෙටි කලක් ය්දදී මෙම පෙම්වතාට මුලින් කැමැත්තෙන් සිටි සෝරාගේ මව පසුව විරුද්ධ වූවාය. ඇගේ බලපෑම්වලට කසුන් අත්හරින්නට සෝරා අකැමැති වෙද්දී මවගෙන් තරවටු වලින් එහා ගිය පහර දීම්වලට සමහර අවස්ථාවලදී සෝරා ලක් වූවාය. අවුරුදු පහළොවක් වූ සෝරා මවගෙන් මුදාගෙන ලංකාවට ගෙන යන්නට කසුන් සැලසුම් කළේ මේ සිද්ධීන්ට විසඳුම් ලෙසය. කසුන් මේ බව තම මවටද දන්වා සිටියේය. ජපානයේ ධනවත් පවුලකින් කසුන් සහකාරියක් රැගෙන එන බව දැනගත් පවුලේ අයද ඒ තොරතුරෙන් සතුටට පත් වූහ. දිනය මෙම වසරේ මාර්තු 12 දාය. සෝරාද සමග කසුන් ජපානයෙන් ගුවන් ගත වන්නේ සහකාරියත් සමග මව්බිමට ඒමටය. ඒත් ඔවුන් ලංකාවට එන්නට පෙර මේ තොරතුර සෝරාගේ මව දැනගත්තාය. ඒ බව ඇය දැනගන්නා විටත් ඔවුන් සිටියේ ගුවන් යානයේය. පැය දහයකට අධික ගුවන් ගමන කටුනායකින් නිමා කරද්දී පෙම් යුවළට කටුනායකදී ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදු විය. ඒ මේ වන විටත් සෝරාගේ මව ඔවුන් පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයට පැමිණිලි කර තිබූ නිසාය. තම දැරියව පැහැරගෙන යන බැවින් කටුනායකදී ඇයව තමන් නම් කරන අයකුට භාර දෙන ලෙස සෝරාගේ මව ඉල්ලා තිබුණි. ඇය ඒ වන විට මෙරට ජපාන තානාපති කාර්යාලයටත් ඒ බැව් දන්වා තිබූ නිසා තානාපති කාර්යාලයේ නිලධාරිනියක්ද ගුවන් තොටුපොළට පැමිණ තිබිණි. ඒ මාර්තු 13 දාය. කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට කසුන් හා සෝරා භාර දෙන්නට ගුවන් සමාගම කටයුතු කරන්නේ මෙම ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමටය. සෝරා තම පෙම්වතා හැර වෙන අය සමග යාමට අකැමැති බව තරයේම කියා සිටියාය. සෝරාගේ මව ජපානයෙන් එනතුරු ඇයගේ හිතවත් ලාංකිකයකු ළඟ සෝරා රැඳවීමට මවගේ ඉල්ලීම විය. ඒ අවස්ථාවේ ගුවන් තොටුපොළට නීතිඥවරියක්ද කසුන් වෙනුවෙන් පැමිණ සිටියාය. ජපාන තානාපති කාර්යාල නිලධාරීන් අන්තිමට තීරණය කරන්නේ සෝරාව හෝටලයක නැවැත්වීමටය. සෝරාගේ තනියට කසුන්ගේ සොයුරිය නවත්වන්නට තීරණය වන්නේ සෝරා වෙනත් අය සමග නැවතීමට අකැමැති වෙද්දීය. කොච්චිකඩේ පලඟතුරේ සමර් සයිඩ් හෝටලයේ මෙම දෙදෙනා නවතින්නේ ගුවන් තොටුපොළ පොලිසිය හා ජපාන තානාපති කාර්යාලයද දැනුවත්වය. ඒ අතරේ කසුන්ගේ මව කසුන් සමග එදින රාත්‍රියේ හෝටලයට පැමිණ ලේලියව දෑසින් දැක බලා ගත්තාය. මාර්තු 15දා සෝරාගේ මව පැමිණ රැගෙන යනතුරු සෝරාට මෙම හෝටලයේ රැඳී සිටීමට උපදෙස් දී තිබිණ. පසුදිනම මිතුරන් වූ සුජිත් හා අයේෂ්මන්තගේ සහායෙන් කුලියට වාහනයක් ගත් කසුන් හෝටලයට එන්නේ ඇගේ මව එන්නට ප්‍රථම සෝරා රැගෙන පිටව යාමටයි. ඇයව බලාගත් සොහොයුරියව නිවසට යවා පෙම්වතියත් සමග කසුන් පලායන්නේ රහසේය. සෝරාගේ මව මාර්තු 15දා ලංකාවට එද්දී සෝරා හෝටලයේ සිටියේ නැත. ඇය තම දියණිය හෝටලයෙන් අතුරුදන්වීම ගැන කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් කළාය. කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ශ්‍රීනික ජයකොඩි හමු වූ ඇය පහළොස් හැවිරිදි දියණිය ලාංකික පෙම්වතා විසින් පැහැරගෙන එන අවස්ථාවේ මුදල් රුපියල් ලක්ෂ දහයකුත් රැගෙනවිත් ඇති බවටත් ඒ පැමිණිල්ලට එක් කර තිබුණි. එම පැමිණිල්ලට අනුව පොලිසිය කසුන්ව අත්අඩංගුවට ගන්නට ක්‍රියාත්මක වන්නේ මෙරට නීතිය අනුව බාලවයස්කාරියක් පහැරගෙන යාමේ චෝදනාව යටතේය. මේ අනුව විමර්ශන බාර දෙන්නේ කොච්චිකඩේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා මාපා රත්නායක හා කාන්තා සැරයන් නිරංජලා රෞදිගෝ (1270) යන දෙදෙනාටය. කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් මුලින්ම කළේ කසුන්ගේ මව හා සොහොයුරිය පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කිරීමය. එම ප්‍රකාශවලදී ඔවුන් පැවසුවේ තමන් කිසිදෙයක් නොදන්නා බවය. ශ්‍රී ලංකාවේ නීතිය අනුව බාල වයස්කාර දැරියක පැහැර ගැනීමේ චෝදනාවට අධිකරණයට කරුණු වාර්තා කර කසුන් හා සෝරාට විදේශ ගතවීම තහනම් කිරීමට නියෝගයක් ද ගත්තේය. ළමා හා කාන්තා කාර්යාංශයත් අපරාධ අංශයේ ස්ථානාධිපති ශිරාන් පෙරේරා යටතේත් කණ්ඩායම් දෙකක් සෝරා සොයා විමර්ශන ඇරඹීය. කසුන්ට කුලී වාහනය ලබා දුන් හා වාහනය ලබා ගෙන ගිය පුද්ගලයා වූ අයේෂ්මන්ත නම් කසුන්ගේ මිතුරා අත්අඩංගුවට ගන්නේ අපරාධයකට අනුබලදීමේ චෝදනාවටය. අනතුරුව කසුන්ගේ මව හා නැගණියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන්නේ මෙම චෝදනාවටය. ඉන්පසුව වී.පී.එන්. ජාලය මගින් දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට මෙම යුවළ ගැන විස්තර සඳහන් කර යවා තිබුණේ අත්අඩංගුවට ගෙන කොච්චිකඩේ පොලිසියට ලාබාදෙන ලෙස සඳහන් කරමිනි. ඒ අතරතුර ෆේස්බුක් මගින් දෙදෙනාගේ ඡායාරූප ප්‍රචාරය කර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනික ජයකොඩි අංකයද සඳහන් කර තිබිණි. සිදුවීම් එලෙස එද්දී, පෙම් යුවළ කිතුල්ගල නාවලපිටිය, නුවරඑළිය, ත්‍රිකුණාමලය ප්‍රදේශවල හෝටල් කාමර හා ඥාති නිවෙස්වල රැඳීසිටියේ පොලිසියටවත් හෝඩුවාවක් නොතබමිණි. කසුන්, සෝරා බැඳීමට තවත් අයකු එක්වන්නේ මේ සිදුවීම් අතරේය. සෝරා ගැබ් ගත් පසු දෙදෙනාට වූ වගකීමද වැඩි විය. කසුන් පවුලේ ඥාතීන්ගේ සහායෙන් ඇයව මාතෘ සායනයක් වෙතද රැගෙන යන්නේ ජයවර්ධනපුර රෝහල වෙතය. කසුන්ගේ මව පලඟතුරේ පවුලේ සෞඛ්‍ය සේවිකාව හමුවී මාතෘ සායනයට කාඩ්පතක් ලියන්නට විමසා ඇතැයි කොච්චිකඩේ පොලිසියට තොරතුරක් ලැබුණේ මේ අතරය. දුරකථන ජාල පරීක්ෂණ මගින් තොරතුරු සොයන අතරේ පවුලේ අයවද මාර්තු මාසයේ සිටම දැනුවත් කළේ මෙම යුවළ පොලිසියට භාර කරන ලෙසය. කටුනේරිය, කදිරාන, නුවරඑළිය, කිතුල්ගල ප්‍රදේශවල සැඟව සිටි කසුන් සහ සෝරා මාරවිල, මුදුකොටුවට පැමිණ ඇතැයි කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ශ්‍රීනික ජයකොඩිගේ දුරකථනයට තොරතුරක් ලැබෙන්නේ මේ අතරේය. අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශිරාන් පෙරේරා සමග සැරයන් රුවන් කොස්තාපල්වරුන් වන සුමිත්‍රානන්ද වේරගම කාන්තා කොස්තාපල් ධනංජනී පොලිස් රියැදුරු සිසිර ඇතුළු කණ්ඩායමක් මාරවිලට පිටත්ව යන්නේ එම තොරතරු අනුවය. මාස හතක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටි යුවළ සැඟවී ඉන්නා බවට ලද මාරවිල මුදුකටුවේ කසුන්ගේ පුංචි අම්මාගේ නිවසක් වෙත පොලිස් කණ්ඩායම පැමිණියද ඒ මොහොතේ නිවසේ දොරගුල් දමා තිබුණි. නිවසේ සිටින අයට දොරගුලු විවෘතකරන්නට කීවද දොරගුලු ඇරුණේ නැත. අවසානයේ වහළයෙන් නිවස තුළට බැස සැඟවී සිටි යුවළ පොලිස් අත්අඩංගුවට ගත්තේය. සෝරා හා කසුන් පොලිසියට රැගෙන එන්නේ ඉදිරි විමර්ශනවලටය. එහිදී සෝරා මාස හයක ගැබිනියක බවද අනාවරණය විය. කසුන්ගේ දෑත්වලට විලංගු දමද්දීත් ඇයම ඔහු ළඟම රැඳී සිටියේ තම ආදර බැඳීම අත්හල නොහැකි බව කියා පාමිනි. මවගේ පහරදීම් විඳ දරා ගත නොහැකි නිසා පෙම්වතා වූ කසුන් සමග ලංකාවට පැමිණීමට තීරණය කළ බව සෝරා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ පැවසීය. සෝරාගේ මවගේ පැමිණිල්ල හා ලංකාවේ නීතිය අනුව කසුන්ව අත්අඩංගුවට ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා පෙන්වා දුන්නේය. මේ වන විට සෝරාට වයස අවුරුදු දහසයකි. ඇයට අවුරුදු දහසය වූයේ සැප්තැම්බර් 03 දාටය. අත්අඩංගුවට ගැනුණු කසුන් මධුශංක (24) හා ඔටාකි සෝරා මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ හමුවට පමුණුවන්නේ පසුගිය බ්‍රහස්පතින්දා එනම් නොවැම්බර් (26දා)ය. එහිදී බාල වයස්කාරියක අපහරණය කර ස්ත්‍රී දූෂණයට ලක් කළ චෝදනාව මත සෝරාගේ පෙම්වතා දෙසැම්බර් 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේය. සෝරාව ලුනාව මොරටුව මාසෙවණ මධ්‍යස්ථානයේ පරිවාස භාරය යටතේ තැබීමටද නියෝග කෙරිණි. සෝරාගේ මවද අද හෙටම ලංකාවට පැමිණීමට නියමිතය. ඒ සෝරාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්නටය. පෙම්වතා නිසා මව් පදවිය ලබන්නටද පෙරුම්පුරමින් හිඳින සෝරා කසුන් ආදර අන්දරය අධිකරණය හමුවේ විසඳෙනු ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..